~ ආත්මය බුද්ධිය කරා ගෙන යන ALIGARH ~(කසුන් මහේන්ද්‍ර හීනටිගල විසිනි.)


මෑත දශකයෙ හින්දි සිනමාවෙ මං දැක්ක හොඳම ප්‍රවණතාව තමයි ‘සත්‍ය කතා’ පදනම් කරගෙන දැනෙන සිනමාපට බොහෝමයක් නිර්මාණය වීම.

ඉන්දියානු කලාවෙ පියා හැටියට සලකන ‘රාජා රවී වර්මා’ගෙ ජීවිත කතාව පදනම් කරගත්ත ‘Rang Rasiya’, ඉන්දියාවම හෙල්ලුම් කෑව මිනීමැරුමක් වුණ දහ හතර හැවිරිදි ‘ආරූෂි තල්වාර්’ගෙ මරණය - අසාධාරණ නඩු තීන්දුව මූලික කරගත්ත ‘Talvar’, තමන්ගෙ ආදරිය වෙනුවෙන් අවුරුදු 22ක් කන්දක් කඩන ‘දශ්රත් මන්ජි’ගෙ ජීවිත කතාව බේස් කරගත්ත ‘Manjhi’, ඉන්දීය ක්‍රිකට් ඉතිහාසෙ නායකත්වය දැරුව එකම මුස්ලිම් ජාතිකයා වුණ සුපිරි පිතිකරු ‘මොහොමඩ් අසාරුඩීන්’ගෙ ජීවිතය අපිට පෙන්වන ‘Azhar’, ෆ්ලයිට් එකක් ඇතුළෙ අහිංසක ජීවිත ගාණක් බේරගෙන අන්තිමට තමන්ගෙ ජීවිතේ පුද කරපු ‘නීර්ජා භානොට්’ගෙ දුක්බර කතාව කියන ‘Neerja’ මාව රිද්දපු සිනමා නිර්මාණ.


මගේ අලුත් රිදීම සහ විඳීම ‘ALIGARH ’

මේ ඉන්දියාවෙ ජීවත් වුණ දක්ෂ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් - භාෂා පරිවර්තකයෙක් - කවියෙක් සහ නිහතමානී මිනිහෙක් වුණ ‘ආචාර්ය රාමචන්ද්‍ර සිරාස්’ගෙ කතන්දරේ. ඔහු වෙනත් කෙනෙක් නෙමෙයි ‘වෙනස් හැකියාවන්ගෙන්’ පිරුණ කෙනෙක්. වැඩවසම් සමාජෙක , පසුගාමී ලෝකෙක ආදරය පිරිමි ශරීරයක් ඇතුළෙ හොයන ‘සමරිසි ලෝලියෙක්.’ අනෙකාගේ ද්වේෂයට - වෛරයට - අපහාසයට - පහර දීමට ලක්වෙච්ච ‘අනෙකාට පෙම් කළ මනුෂ්‍යයෙක්.’

බොහෝ බටහිර රටවල් භුක්ති විඳින ‘මානව හිමිකම්’ අපේ වගේ ආසියාතික රටවල් වලට ගලාගෙන එන්නෙ හරිම අඩුවෙන්. ඔය ‘මිනිස් අයිතීන්’ කියන කෑල්ලෙදි ඉන්දියාව මෙහෙට හපන් ! මෙහෙ ඉන්දියාවට හපන් !

ජාත්‍යන්තරය මේ වෙද්දි නෛතිකව පිළිගන්න විදිහට ‘සමලිංගිකත්වය’ කියන්නෙ මිනිස් අයිතියක් ; පුද්ගලිකත්වයේ අයිතියක් ; සමානාත්මතාවයේ අයිතියක් ; ජීවත් වීමේ අයිතියක් ; අනුල්ලංඝණීය අයිතියක් !

පොදුවෙ මේ ගැන ඇහෙනකොට ඒක අමුත්තක් වගේ දැනෙනව නං ඒක එහෙම දැනෙන කෙනාගෙ අවුලක් මිසක් ‘අයිතිය ඉල්ලන - සටන් කරන’ කෙනාගෙ අවුලක් නෙමෙයි.

ග්‍රීක මහා දාර්ශනික ප්ලේටෝ මෙහෙම කියල තියෙනව. ‘ආත්මය බුද්ධිය කරා ගෙන යන ඉන්ධන ශක්තිය සමලිංගික ප්‍රේමයයි.’ ග්‍රීක යුගයෙ ඒ හැදෑරීම මේ ‘ජාතික රාජ්‍ය’ යුගයෙදි ඔප්පු කරන්න ‘සිරාස්’ නිහඬ සටනක - සිනාමුසු ගමනක යෙදෙනවා. ඒක දකින සහෘද හදවත් මහා වේදනාවකින් බරවෙනව. ඔහු හිනැහෙනවා , අපේ හදවත් වැළපෙනවා.

ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වුණ මේ සිනමාපටයෙ ආචාර්ය සිරාස්ගෙ චරිතෙට පණ විතරක් නෙමෙයි හුස්ම පොවන්නෙ ‘මනෝජ් බජ්පායි’. මං පෞද්ගලිකව මිනිහගෙ ‘ඇක්ටින් වේට්’ එකට මාර ආසයි.

ඇත්තටම බජ්පායි ළඟ හිටියා නං ‘සභාෂ්.. සභාෂ්’ කියල පැනපු ගමන් බදාගන්න පුළුවන් දුර්ලබ ගනයෙ අගනා රංගනයක් මේ !

වෙනසකට ප්‍රිය කරන හැමෝටම වටිනා අද්දැකීමක් වෙනවා සහතිකයි ALIGARH.

බලන්න - කතා කරන්න - ආදරය කරන්න !



| කසුන් මහේන්ද්‍ර හීනටිගල















Previous
Next Post »