හැමෝගෙම ජීවිතේ මොකක් හරි අඩුවක් තියෙනවා – ආචාර්ය ටියුඩර් වීරසිංහ


ආචාර්ය ටියුඩර් වීරසිංහ යනු,ජනමාධ්‍ය සහ ගෝලීය දේශපාලනික තත්වයන් විද්‍යානුකූලව විග්‍රහ කළ හැකි ශ්‍රී ලංකාව තුළ සිටින වටිනා බුද්ධිමය ප්‍රාමාණිකයෙකි.

වෙල් ඉපනැලි මතින් ඇවිද ගිය ඔහු විටෙක සැප විඳින්නටත් සැපට දුක් විඳින්නටත් උගත්තේය. රුපියල් ශත වැය වෙමින් පය පැකිළෙන හැම විටම මනුෂ්‍යත්වයේ හය හතර වෙනුවෙන් නැඟී සිටියේය. බුද්ධිය අත්තම් කර ජීවිතය වත්තම් කළේය. දැන් ඔහු අනවරත ආත්මයක නිරවතර අරගලයකය. ඔහු තනිව, හුදෙකලාවම ගෝලීය සංවාදයකය. එහෙත් මේ ඔහුගේ ජීවිතය යි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ශ‍්‍රීපාලි මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ ය.මම ඉපදුණේ 1963, ගම්පහ දිස්ත‍්‍රික්කයේ බියගම ආසනයේ හෙයියන්තුඩුව කියන ගමේ. ඇත්තටම ඒක විශාල ගමක්. අපි එච්චර ලොකු මිනිස්සු නෙමෙයි. තාත්තා කළේ ගොවිතැන්. අම්මා නම් හිටියෙ ගෙදර. අපේ පවුලෙ වැඩිමලා මම. මට ඉන්නෙ මල්ලිලා දෙන්නයි නංගිලා දෙන්නයි. කොහොමහරි මට අද වගේ මතකයි ඒ දවස්වල ගමේ අය කිරි අරගෙන යන්නෙ අපේ ගෙදරින්. ඒ දවස්වල අද වගේ කිරිපිටි තිබුණෙ නෑ. ඉතිං දියර කිරි තමයි අරගන්නෙ. අහලා තියෙන විදියට නම් මං පුංචි කාලෙ ටිකක් දඟයෙක්ලූ. මට මතක තියෙන අවධිය තමයි මගේ පාසල් කාලය. මම පුංචි කාලෙ ඉස්කෝලෙ යන්න හරිම අකැමැතියිලූ. ඒ කියන්නෙ හැත්තෑව දශකය. මම මුලින්ම ගියේ ගමේම තිබුණු ඉස්කෝලෙට. ඒ කියන්නෙ හෙයියන්තුඩුව ඉස්කෝලෙට. මම ගමේ ඉස්කෝලෙ ඉගෙන ගත්තෙ හය වන ශ්‍රේණිය වෙනකල් විතරයි. ඒ කාලෙ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් 10-11 වගේ ශ්‍රේණි නැති කරලා තිබුණෙ. ඒ කියන්නෙ අපේ ඉස්කෝලෙ ප‍්‍රාථමික ඉස්කෝලයක් බවට පත් වුණා. ඉතිං අපිට සිද්ධ වුණා වෙන ඉස්කෝලයක් හොයා ගන්න. ඒ හරියෙ ලොකු ඉස්කෝලෙකට තිබුණෙ හෙයියන්තුඩුව මහා විද්‍යාලය. මං අර මුලිනුත් කිව්වනේ අපේ ගම ලොකු ගමක් කියලා. ඉතිං අපිට ඉස්කෝල දෙකයි. මං ඊට පස්සෙ ගියේ හෙයියන්තුඩුව මහා විද්‍යාලයට. ඒත් ඒ පාසලට ගියේ 10 වන ශ්‍රේණිය වෙනකල් විතරයි.


මම උසස් පෙළ කරන්න දෙල්ගොඩ කල්‍යාණ ප‍්‍රදීප විද්‍යායතන පිරිවෙනට ආවා. මම ඉගෙන ගන්න එච්චරම දක්ෂ නෑ. ඔය පිරිවෙනට එන්න කලින් මම පන්තියෙ අන්තිමයා. හැබැයි මම පිරිවෙනට ආවට පස්සෙ හොඳට අධ්‍යාපන කටයුතු කළා. මම ඔය දවස්වල ක‍්‍රීඩාව පැත්තට හරි උනන්දුයි. රිටි පනින්නත් හරි දක්ෂයි. මම තමයි හෙයියන්තුඩුවට රිටි පැනීමේ ක‍්‍රීඩාව හඳුන්වලා දුන්නෙ. ඒත් අපෙ අම්මට ලොකු උවමනාවක් තිබුණා මට හොඳට උගන්වන්න. හැබැයි කොහොම කොහොමහරි මටත් හොඳට ඉගෙන ගන්න ඕන කියන ආසාව ඇති වුණා. ඒක වුණේ මං හිතන විදිහට මට ඇසුරු කරන්න ලැබුණු ගුරුවරු නිසා වෙන්නත් ඇති. ඇත්තටම දෙල්ගොඩ පිරිවෙනට ගියෙත් හරි අහම්බයකින් වගේ. මම දෙල්ගොඩ පිරිවෙනට ගියේ යාළුවෙක්ට උසස් පෙළ කරන්න ඇප්ලිකේෂන් ෆෝර්ම් එකක් ගන්න.


ඒ වෙලාවෙ මාව දැකලා ලොකු හාමුදුරුවො ඇහුවා, ‘‘ඔය ළමයගෙ ප‍්‍රතිඵල කොහොමද?’’ කියලා. ඉතිං මම කිව්වා. ඊට පස්සෙ හාමුදුරුවො කිව්වා, ‘‘යාළුවා නෙමෙයි තමුසෙ මෙහෙ උසස් පෙළ කරනවා’’ කියලා. ඒ හාමුදුරුවො හරි සැරයි. ඒත් මං කිව්වා, ‘‘හාමුදුරුවනේ මං හිතාගෙන ඉන්නෙ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කරන්න’’ කියලා. මොකද මං දන්නවා ජීව විද්‍යා අංශයෙන් පිරිවෙනේ උසස් පෙළ කරන්න බෑ කියලා. ඒ වෙලාවෙ හාමුදුරුවො ආයෙත් සැරෙන් වගේ කිව්වා ‘‘ජීව විද්‍යාව කරන්න ඕන නෑ, වාණිජ කරන්න පුළුවන්නෙ’’ කියලා.


පස්සෙ මං කැමැති වුණා. ඒත් ඒ වාණිජ කරන්න නෙමෙයි ආර්ට්ස් කරන්න. ඒත් හාමුදුරුවන්ගෙ බලවත් පෙරැත්තය නිසාම මට වාණිජම තමයි කරන්න වුණේ. කොහොමහරි උසස් පෙළට කරන්න වුණේ මං අකැමැතිම විෂයයන් ටිකක්.


කොහොමත් මම ඔය කියන කාලෙ වාමාංශික දේශපාලන ව්‍යාපාරයට හරි කැමැතියි. ඒ ගැන ගොඩක් පොත් පත්තර කියෙව්වා. ශිෂ්‍ය සංගම්වල කටයුතුවලටත් සම්බන්ධ වුණා. බහුජන ව්‍යාපාරවල කටයුතු කළා. මං හිතන්නෙ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ඒවගෙන්. එදා පාසල් ජීවිතයෙන් යම් ජීවන අත්දැකීමක් ලැබුණා තමයි. ඒත් මං හිතන්නෙ මට නම් ලොකු දැක්මක් හා අවබෝධයක් ලැබුණෙ සමාජයීය ජීවිතයෙන්. අවාසනාවකට අද ඉන්න ළමයින්ට ඒ චාන්ස් එක නෑ. මොකද අද වාමාංශික ව්‍යාපාර නෑ, කොමියුනිස්ට් ව්‍යාපාර නෑ, පාසල් කාලෙ දි ශිෂ්‍ය ව්‍යාපාර නෑ. ඉතිං සමාජයීය අවබෝධයක් ලබා ගන්න ළමයින්ට තැනක් නෑ. වර්තමාන පාසල තුළත් උත්තරීතර මනුෂ්‍යයෙක් බිහි කිරීමේ අරමුණක් නෑ. එතනත් දැන් ව්‍යාපාරික අංශයක් බවට පත්වෙලානෙ. එතන තියෙන්නෙ මනුස්සකමකට වඩා මොකක්ද තරගයක්නෙ. ඇත්තටම එදා වුණේ සමාජය විසින් පාසල ආරක්ෂා කරපු එක. ඒත් අද වෙලා තියෙන්නෙ සමාජයෙන් පාසල ආරක්ෂා කරගන්න එක.


ඉතිං කොහොමහරි මම උසස් පෙළත් සමත් වෙනවා. ඊට පස්සෙ මට සෝවියට් දේශයට යන්න ශිෂ්‍යත්වයක් හම්බ වුණා. ඒ 1986. මම සෝවියට් දේශයට ගිහිල්ලා ජනමාධ්‍ය හැදෑරුවා. ඒත් මට උවමනාව තිබුණෙ ජනමාධ්‍යටත් වඩා දර්ශනවාදය හදාරන්න. ඒකත් මං හැදෑරුවා. 1986 කියන්නෙ සෝවියට් දේශයේ දේශපාලනමය වශයෙන් වෙනස්කම් වෙන්න පටන් ගත්ත අවධිය. ඉතිං අපිට ප‍්‍රායෝගිකව පවා හදාරන්න ගොඩක් දේවල් තිබුණා. කොහොමහරි මම මගේ මූලික උපාධිය හදාරලා ශාස්ත‍්‍රපති උපාධිය හදාරනවා. ඒ කියන්නෙ 1992 වගේ මට මතක විදිහට. ඒ ඉගෙන ගත්තෙත් ජනමාධ්‍යම තමයි. මම ශාස්ත‍්‍රපති උපාධියත් සමත් වුණේ පළමු පන්ති සාමාර්ථයක් සහිතව. ඒ නිසා ඒගොල්ලොම යෝජනා කළා මට පී.එච්.ඩී. එකත් එහෙම කරන්න කියලා. හැබැයි ඉතිං ඔය කාලසීමාව වෙනකොට සෝවියට් දේශය බිඳ වැටිලා, ශිෂ්‍යත්ව ක‍්‍රමත් ඔක්කොම අහෝසි වුණා. ඉතිං ඒ වෙලාවෙ මං ලොකු අර්බුදයකට මුහුණ දුන්නා. මොකද විශ්වවිද්‍යාලයෙන් පී.එච්.ඩී.යට මාව රෙකමන්ඞ් කළාට ඊට අදාළ වියදම් කළේ නෑ. මට ඒ හැම වියදමක්ම දරා ගන්න සිද්ධ වුණා. විශ්වවිද්‍යාලයෙනුත් මට ඒ බව දැනුම් දුන්නා. ඒත් මං අධෛර්යමත් වුණේ නෑ. මං තීරණයක් ගත්තා මං කොහොමහරි පී.එච්.ඩී. එක කරනවා කියලා. මට මොකුත් ගෙදරට කියන්න විදිහකුත් තිබුණෙ නෑ. මොකද අද වගේ ඒ දවස්වල අපිට මොබයිල් ෆෝන් තිබුණෙ නෑනේ. ලියුම්වලින් තමයි අදහස් හුවමාරු කර ගත්තෙ. අද ලියුමක් ලියලා දැම්මොත් මාස දෙකකින් විතර තමයි ඒක හම්බ වෙන්නෙ. ලෙඩක් එහෙම හැදිලා ලියුමක් ලිව්වොත් ලියුම හම්බ වෙනකොට එක්කො ලෙඩේ හොඳ වෙලා. නැත්නම් වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.


කොහොමහරි මං මගේ මුදල් ප‍්‍රශ්නෙ ගැන ලංකාවෙ එවකට අදාළ බලධාරීන්ටත් ලිව්වා. ඒත් වැඩක් වුණේ නෑ. අන්තිමට මගේ බලවත් ඉල්ලීම නිසාම ශිෂ්‍යාධාර රහිතව අධ්‍යාපන කටයුතු කරගෙන යන්න රුසියාවෙන් අවසරයක් දුන්නා. වෙලාවෙ හැටියට ඒක ලොකු දෙයක්. ඒ කියන්නෙ අධ්‍යාපනය විතරයි මට නොමිලෙ. අනිත් හැම දෙයකටම මම ගෙවන්න ඕන. මම කොහොමත් දර්ශනවාදය පැත්තට ගොඩක් කැමැතියි. ඒ පිළිබඳ ගොඩක් පොත් එහෙමත් කියෙව්වා. ඉතිං ඔය අතරෙ දවසක් මම රුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා හම්බ වෙලා කිව්වා, මම පී.එච්.ඩී.යට ඉගෙන ගන්න කෙනෙක්, මට තවදුරටත් දර්ශනය ගැන ඉගෙන ගන්න ඕන කියලා. ඒ වෙලාවෙ දි එතුමා මගෙන් විස්තර අහලා කිව්වා ඔයාට ඉගෙන ගන්න පුළුවන් හැබැයි ගෙවන්න වෙනවා කියලා. ඒත් මං මගේ ඇත්ත තත්ත්වය කිව්වා. මට ගෙවන්න විදිහක් නෑ කියලා මම දිගින් දිගටම කිව්වා. පස්සෙ මට ඒගොල්ලො අවස්ථාවක් හදලා දුන්නා දර්ශනවාදය හදාරන්නත්.


අන්තිමට මං මගේ අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව ඉවර කරලා, පී.එච්.ඩී. එකත් අරගෙන 1998 මාර්තුවල ලංකාවට ආවා. ඇවිල්ලා කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් විදියට වැඩ කළා. එහෙම අවුරුද්දක් විතර ස්ථිර රස්සාවක් හොය හොයා ඉන්නකොට කොළඹ විශ්වවිද්‍යාලයේ වේකන්සියක් කෝල් කරලා තිබුණා ශ‍්‍රීපාලි මණ්ඩපය පටන් ගන්නවා කියලා. ඉතිං ඒකට ඇප්ලිකේෂන් දැම්මා. සතියක් විතර යනකොට ලියුම ආවා ඇවිත් වැඩ බාරගන්න කියලා. ඒ 1999 ජනවාරි 05.

ඇත්තටම මගේ ජීවිතේ මේ සිදුවුණු සිදුවීම් එකක්වත් ප්ලෑන් කරලා කරගත්ත දේවල් නෙමෙයි. මේ හැමදේම අහම්බෙන් වගේ සිදු වෙච්ච දේවල්. අපි ශ‍්‍රීපාලියට එනකොට විෂය නිර්දේශයක්වත් හදල තිබුණෙ නෑ. අපි කිහිප දෙනෙක් එකතු වෙලා ඒවා හැදුවා. විශ්වවිද්‍යාලයකට අවශ්‍ය කරන සියලූ දේවල් අපි නිර්මාණය කළා. පහුගිය අවුරුදු 20 ම ගෙවිලා ගියේ ඒ වෙනුවෙන්.


මං සෝවියට් දේශයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මෙහෙ අපි වාමාංශික ව්‍යාපාරය කියන්නෙ ගොඩක් කලබල, එහෙ මෙහෙ දුවන, සටන් පාඨ කියන, ආවේග ශීලී විදිහට හැසිරෙන එකක් නේ. ඒත් එහෙට ගියාම එහෙම තත්ත්වයක් නෑ. මිනිස්සු හරිම සංවරයි. ශාන්තයි, කිසිම කලබලයක් නෑ. මට ඉතිං හරි පුදුමයි. මං එකපාරක් අත්වැඩ දෙන්න රුසියානු වැඩ බිමකටත් ගියා. ඒ තුළින් ජීවිතේට ලොකු අත්දැකීමක් ලැබුණා. මට එහෙ දි තමයි තේරුම් ගියේ පොතේ තියෙන සමාජවාදයට වඩා මේක වෙනස් කියලා. ඇත්තටම අපේ වාමාංශික නායකයොයි, පොත්පත්වලයි තියෙන ඒවා ප‍්‍රායෝගිකව හරි වෙනස්. සෝවියට් රුසියාව කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් ජීවන රටාවක්. මං අදටත් විශ්වාස කරන්නෙ ලෝකෙ කොහේහරි සමාජවාදය පවතින්න පුළුවන් නම් ඒ එකම ක‍්‍රමය සෝවියට් රුසියාවෙ තිබුණු ක‍්‍රමයම විතරයි. ඒකම තමයි සමාජවාදයට තියෙන එකම විකල්පය.


මම ලංකාවට ආවට පස්සෙත් ඔය ගැන කල්පනා කළා, කතා කළා, පත්තරවලට ලිව්වා. ඒ වෙනස හඳුනා ගත්ත පිරිසක් හිටියද කියන්න මං දන්නෙ නෑ. ඉතිං ඔහොම මං තනියෙන් ටික කාලයක් හිටියා. පස්සෙ විවාහ වුණා. යෝජනාව ආවෙ ගෙදරින්. දැන් අපිට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. පුත්තු දෙන්නයි, දුවයි. නෝනා තක්ෂිලාවෙ ගුරුවරියක්. දැන් අපේ පදිංචිය බණ්ඩාරගම. මේ වන විට අපේ මුල් ගමේ ඉන්නෙ අම්මයි සහෝදර සහෝදරියොයි. තාත්තා නම් නැති වුණා.


මේ සමාජයේ මනුෂ්‍යයෙක් විදිහට ජීවත් වෙනකොට යම් බලාපොරොත්තුවක් තියාගන්න ඕන. මොකුත් අදහසක් නැතුව ජීවත් වෙන එක ඇත්තටම ජීවිතයක් නෙමෙයි. හැබැයි ඕනවට වඩා ඒ අදහසේම එල්ලීගෙන ඉන්න ඕනා කියලා එකක් නෑ මම හිතන්නෙ. මොකද ජීවිතය කියන්නෙ ඒකම නෙමෙයිනේ. මගෙ අදහස නම් ඕනෑම අදහසකට, ඕනෑම සංකල්පයකට වඩා සංකීර්ණයි මිනිස් ජීවිතය. අපි කොච්චර පරිපූර්ණයි කියලා හිතුවත් ඒක එහෙම වෙන්නෙ නෑ. මොකද හැම වෙලාවෙම මොකක් හරි අඩුවක් හිටිනවා. ඒක තමයි මිනිස් ජීවිතයක හැටි.

-සත්හඩ පුවත්පත ඇසුරිනි...
Previous
Next Post »