"වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත්...ආදරෙයි මං ඔය හිතට තාමත්."(ඉෂාර ලක්මිණ.)


පසුගිය ඉරිදා රාත්‍රියේදී, හුගක් කාලයකින් මගේ උසස් පෙළ පංතියේ ගජ මිතුරෙකු කොළඹ මගේ මිතුරෙකුගේ නිවසේදී මුණ ගැසුන නිසා ආගිය තොරතුරු කතා කරමින් එදින රාත්‍රියේ මමත් කොළඹ මගේ මිතුරාගේ නිවසේම ගත කරෙමි.මා මධුවිත පානය නොකළත්, මගේ සහෝදර අනෙක් මිතුරන් එහිදී මධුවිත ස්වල්පයක රස විදිමින් කතාබහට මුල පිරුවේය...


මගේ රත්නපුරේ සිට පැමිණි මිතුරා කතාවට මුල පුරන්නට විය..."මචං කොහොමද උඹලාගේ මීඩියා වැඩ කටයුතු?" එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් දීර්ඝ විස්තරයක් කොළඹ නිවස අයිති මිතුරා විසින් සිදු කරන ලදි.මගේ රත්නපුර මිතුරා උසස් පෙළ විභාගය ආසන්නයේම බණ්ඩාරවෙල ප්‍රදේශයේ අපේම වයසේ මිතුරියකට දැඩිව ආදරය කරන ලද මතකයක් එක පාරටම මගේ සිතට පැන නැගුණි.


"මචං,ඒක නෙවෙයි උඹගේ ලව් එක _ _ _ නංගිට මොකද වුණේ?" මම එක පාරට ප්‍රශ්නයක් ඇසුවෙමි.එක පාරටම මධුවිත බෝතලය ඇසුරුම් කළ තිබූ ඉතා අලංකාර උණ පතුරක් හැඩය ගත් ඇසුරුම අතට ගත් මගේ රත්නපුර මිතුරා ක්ෂණයෙන් 'අසංක ප්‍රියමන්ත පීරිස් මහතා' ගායනා කරන මෙම ගීතය ගායනා කරන්නට විය...


තත්වය වැටහුණ මා තව දුරටත් මගේ මිතුරාගේ සිත රිද්දීමේ කැමැත්තක් නොමැති නිසා වෙනත් ප්‍රශ්නයක් අසා පෙර ඇසූ ප්‍රශ්නයේ මතකය බිදීමට දැවැන්ත උත්සාහයක් ගත්තේය...එවර මම මගේ මිතුරාගෙන් ඇසුවේ "මචං, කල්ප අයියට හෙණ අපරාධයක් නේද වුණේ බං?" යන ප්‍රශ්නයයි...


රත්නපුර මගේ මිතුරාට ඉතාම පංකාදුවට ඕනෑම ගීතයක් ගායනා කිරීමේ හැකියාව ඇත.ඔහු එක්තරා පෞද්ගලික රූපවාහිනී නාළිකාවක ගායනා තරගයකට ගොස් අවසාන තරගකරුවන් 16 දක්වාම පැමිණි අයෙකි.එම නාළිකාවේ නිදහස් මාධ්‍යවේදියෙක් ලෙසත් කටයුතු කරපු 'කල්ප කන්නංගර' අප අතරින් හදිසි අනතුරකින් සදහටම වෙන් වූ සහෝදර මාධ්‍ය මිතුරා මගේ රත්නපුර මිතුරාව නිතරම දිරිමත් කරපු මතකය නැවත මා අලුත් කිරීමට ගත් උත්සාහයේදී; අපි නොදන්නා කල්ප අයියගේ හොද ගති රැසක් රත්නපුර මගේ මිතුරා කදුළු සළමින් සදහන් කර සිටියේය...


එය ඇසූ මා වික්ෂිප්තව කතා කිරීමට වචන පිට නොවී බලා සිටියේ මෙවන් මිනිස්සුන්ට ඇයි දෙවියෝ ආයුෂ අඩු කරන්නේ යැයි සිතමින් දෙවියන්ටත් සිතින් බනිමින්ය."කල්ප අයියා හිත හොද එකෙක්...කාටත් අලුතින් ෆීල්ඩ් එකේ ඔළුව උස්සන්න උදවු කරපු නිහතමානී කොල්ලෙක්...බොක්ක පිරිසිදු මිනිස්සු එක්ක ඉන්න දන්න සැබෑ මාධ්‍ය සගයෙක්"...ඒ මගේ රත්නපුර මිතුරා කියූ කතාවලින් මා උපුටා ගත් සාරාංශයයි...


කල්ප අයියාගේ කතාවෙන් පසු නැවතත් මගේ රත්නපුර මිතුරා අපට ඔහුගේ බිද වැටුන ප්‍රේම කතාව පවසන්නට විය...

"මචං ලක්මිණ _ _ _ නංගි දැන් වෙන කෙනෙක්ව බැන්දා බං...එයාගේ අම්මා තාත්තගේ බල කිරීමට එහෙම වුණේ...බදින්න දවස් 2කට කලින් මාත් එක්ක දුක කියලා වරු ගානක් ඇඩුවා.මම මට පුළුවන් විදියට හිත හැදුවා දුක තුනී කරලා...දැන් දවස් 3කට කලින් මට කෝල් කරා...අනේ , _ _ _ අයියේ මට ඔයාව දැකලා ඔයා එක්ක වරුවක් නිදහසේ ඉන්න ඕන කියලා...මම කිවුවා බබා ඔයා දැන් මැරේජ් වෙලා ඉන්නේ ඔයාව දැන් මට අයිති නෑ ඔයා හස්බන්ඩ් එක්ක සතුටින් ඉන්න...ඔයාලා දෙන්නගේ ඕනම දේකට මම ඔයාලා දෙන්නට උදවු කරන්නම් කියලා මම කිවුවා මචං..."

යනුවෙන් මගේ රත්නපුර මිතුරා දීර්ඝව පැහැදිලි කිරීමක් කරමින් යලිත් වරක් "වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත්...මතක් වෙන්නෙම ඔයාවයි තාමත්...ආදරෙයි මං ඔය හිතට තාමත් ගීතය කදුළු සළමින් ගායනා කරන්නට විය.


වෙනදාට මගේ රත්නපුර මිතුරා මා සමග මගේ කොළඹ අදාළ නිවස හිමි මිතුරා මුණ ගැසුන අවස්ථාවලදී කාලීන දේශපාලන,සමාජයීය සංසිද්ධි පිළිබදවයි කතාබහ කරන්නේ මා කතාව ආරම්භ කළ ට්‍රැක් එක වැරදි බව පසුව මට වැටහුණි.


ඔබටත් අමතක කරන්න බැරි පළවෙනි ප්‍රේමයක් තිබෙනවාද?


ඒත් අපිට විවාහ වෙන්න සිද්ද වෙන්නේ අපේ පළවෙනිම ප්‍රේමය එක්කනම් අපි කොච්චර වාසනාවන්තද?ඒත් ධනය,නිලය,ජන වර්ගය,ආගම,කුළය,උගත්කම,පරපුරේ වගතුග මෙවැනි සමාජයීය කරුණු අපට අපේ පළවෙනි ආදරය අපේම කර ගන්න ඉඩ දෙන්නේ නෑ නේද?


ඉතිං අපි හදිස්සි වෙලා වස බොන්නේ නැතුව,කෝච්චියට බෙල්ල තියන්නේ නැතුව,එල්ලිලා මැරෙන්නේ නැතුව,වැවට / මුහුදට පැනලා මැරෙන්න යන්නේ නැතුව අපි ජීවත් වෙලා අපි දුරින් ඉදලා අපේ පළවෙනි ආදරයට ආදරය කරමු!


"වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත්...මතක් වෙන්නෙම ඔයාවයි තාමත්...ආදරයි මං ඔය හිතට තාමත්..."


-ජීවිතයේ පළවෙනි ආදරයට තාමත් හිතින් ආදරය කරන ප්‍රේමවන්තයින් වෙනුවෙනුයි මේ සටහන-

-ඉෂාර ලක්මිණ










Previous
Next Post »