මහමඟ ශිෂ්ට ද? (දර්ශන අශෝක කුමාර )



කිසියම් සමාජයක් විසින් මහාමාර්ග භාවිත කරන ආකාරය අනුව එම සමාජයේ මිනිසුන්ගේ ශිෂ්ටත්වය හෙළිදරව් වන බව වරක් මගේ මිතුරෙක් මා සමඟ පැවසීය. මේ ගැන සිතා බැලීමේ දී එය සත්‍යයක් බව මවෙත ඒත්තු ගැන්විණ. මාර්ගයක් යනු මහජන අවකාශයකි (Public space). මෙම මහජන අවකාශය සැබෑ ශිෂ්ට සම්පන්න මිනිසුන්ගේ අවකාශයක් (Civic space) වන්නේ කුමන ආකාරයකින් ද යන්න සොයා බැලිය යුත්තකි.

කිසියම් සමාජයක මිනිසුන් මහාමාර්ගය භාවිත කරන ආකාරය ඒ ඒ සමාජය අනුව වෙනස් වෙයි. උදාහරණයක් ලෙස යුරෝපයේද ඉන්දියාවේද මිනිසුන් මාර්ගය නමැති පොදු අවකාශය භාවිත කරන ආකාරය මම දැක ඇත්තෙමි. නෙදර්ලන්තයේ මා කලක් ගත කළ අවදියේ දී මාහට මුලින් යම් චකිතයක් ඇති විය. කිසියම් මාර්ගයක් අයිනේ පාර මාරු වීම සඳහා මා රැුඳී සිටින්නේ පාරේ වාහන ගොස් අවසන් වන තුරුය. එහෙත් අප පාර පනින්නට සූදානම් බව පෙනී යනවාත් සමඟ වාහන රියැදුරෝ වහා වාහනය නවත්වති. අපට පාර පනින ලෙස අතින් සංඥාවක් දෙති. මෙය මාහට එවක තේරුම් ගැනීමට නොහැකි තත්ත්වයක් විය. පසුව අනාවරණ වූයේ ඔවුන්ගේ සමාජය තුළ මහාමාර්ග භාවිතයේදී වාහනයට වඩා මගියාට මුල් තැන බවයි.

ඉන්දියාවේ මා ගත කළ සමයේ දී අත්දැකීමට ලැබුණේ ඊට වඩා සම්පූර්ණයෙන් ම වෙනස් තත්ත්වයකි. පාර මාරු වීම සඳහා සලකුණු කළ ස්ථානයක දී හෝ රියදුරෝ සිය වාහන නොනවත්වති. ඔවුන් මුළුමනින් ම පාහේ මාර්ගයේ බලය පතුරුවන්නේ නලාව මගිනි. ඔවුහු තමන්ගේ වාහන සඳහා වාහන නිපදවන සමාගමෙන් දෙන නලාව ඉවත් කර ඉතා විශාල ශබ්දයක් ඇති අලූත් නලාවක් සවිකර ගනිති. කන් බිහිරි කරවන තරමින් මෙම නලාව හඬවමින් මාර්ගයේ ඉදිරියට යන්නේ මාරාන්තික සටනකට යන මාර සෙනඟක් මෙනි. ඇතැම් වාහනවල හිමිකරුවෝ වාහනයේ ඉදිරියෙන් යකඩ පොලූ පාස්සා ආරක්ෂිත වැටක් මෙන් යමක් සවි කර ගෙන සිටිති. එහි අරමුණ වන්නේ කවුරුන් ඉදිරියට ආවත් හප්පා ගෙන හෝ යන බව සංකේතවත් කිරීමයි.

මහා මාර්ගය යනු දැඩි ලෙස විනයක්ද නීතියක්ද පැවතිය යුතු ස්ථානයක් බව අප කවුරුත් පිළිගන්නා දෙයකි. ශ‍්‍රී ලංකාවේ මහාමාර්ග පද්ධතිය වාහනකරුවන් භාවිත කරන ආකාරය පිළිබඳ අපට සෑහීමකට පත් වීමට නොපුළුවන. වාහන තදබදයක් පැමිණි විගස කෙනෙක් ඉරි කපා ගෙන වැරදි පැත්තෙන් ඉදිරියට එති. තවත් කෙනෙක් සුළු ඉඩක් හෝ තිබූ පමණින් වාහන දෙකක් අතරට තමන්ගේ වාහනය රිංග වීමේ උත්සාහයක් දරති. තවත් කෙනෙකු වෙනුවෙන් තත්පරයක අනුකම්පාවක් දැක්වීමට අකමැතිය. ඇතැම් බස්රථ රියදුරෝ අවශ්‍ය තැනදීද අනවශ්‍ය තැනදීද නලා හඬවති. මේ සියල්ල අපගේ ශිෂ්ටත්වයේ තරම මූර්තිමත් කරන ලක්ෂණයන්ය.

ශ‍්‍රී ලංකාව තුළ පසුගිය වසර තුළ දී මාර්ග අනතුරුවලින් 2,700කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. ශ‍්‍රී ලංකාවට තරමින් බොහෝ විශාල ජනගහනය අතින් හය ගුණයකට ආසන්න පිරිසක් ජීවත් වන මහා බි‍්‍රතාන්‍යයේ වසරක දී මාර්ග අනතුරුවලින් මිය යන පිරිස 2,000ටත් අඩුය. ඊට එක හේතුවක් වන්නේ මාර්ගය විනය සීසීටීවි කැමරා මගින් නිරන්තරයෙන් නිරීක්ෂණය කොට නීතිය අකුරට ම ක‍්‍රියාත්මක කිරීමයි. මහා බි‍්‍රතාන්‍යය තුළ එක දිනක පරිගණක රූප මිලියන 26කට වැඩි ප‍්‍රමාණයක් සීසීටීවී කැමරා මගින් ලබා ගැනේ. ඒවා හුදෙක් මාර්ග අනතුරු වැළැක්වීමට පමණක් නොව අපරාධ මැඬලීමට ද බෙහෙවින් ප‍්‍රයෝජනවත් වේ.

උපුටා ගැනීම - 2016.06.15  ' අද'  පුවත්පත (දර්ශන සහ දෘෂ්ටි.)


සටහන - දර්ශන අශෝක කුමාර








Previous
Next Post »