~ මගේ සරසවි කුරුටු ගී ~(කසුන් මහේන්ද්‍ර හීනටිගල විසිනි.)



පළමු වසරෙ හිත ගිය ඇණ හුඟක් උන්නෙ සැලි සැලී
බලමු හිතමු විතරයි බැලුවා නං කෙස් හැලි හැලී
දෙවැනි තෙවැනි වසර පුරා ලැම්බට් ලව් වැසි වසී
සිව් වසරක් ගෙවී ගොසිනි හැරෙනා කල තෙමි තෙමී


ආපු නැවේ කිරි ටොයියන් පෙර සිට බුක් වී සිටී
කාපු කෑම - නාපු නෑම පෙම්වත් හදවත් දනී
දීපු හීන - බීපු බීම අමාවතුර වැනි පැණී
ෆොටෝ කොපිම ගහපු තරං ශ්‍රී අයියා බුදු මෙනී

හීන කෝටියක් උහුලන් කැම්පස් ආ රංචූ
මීන කැලක් සේ එක්වී කී හැටි ගී සින්දූ
දීන නොවී ඉන්නා විට කඩාවැටුණි රණ්ඩූ
පීන පීන ඇත තැන තැන හැම මතකයෙ බිංදූ

ජිම්මෙක ළඟ කිරිහල ළඟ චැට්ටෙක දාගෙන හිටි හැටි
බොහෝ කතා දත් දත්සැට් ෆිට්ටෙක රැකගෙන හිටි හැටි
හදිස්සියට බෙහෙතක් වූ හඳුන්කූරු විකිණුනු හැටි
ඇන්ටි නොමැති දිනට ඉතින් එල්.බී යමු හති වැටි වැටි

දේශන ශාලා නොදනිත් - ශාලාවන් අප නොදනිත්
කුප්පි දැමිලි තිතට නැතත් අවසානෙට එගොඩට යත්
පත අට එකටම සිඳත් - හිත හිත ලී උත්තරත්
හිනාවෙනා අයුරු පෙනේ දැනුම ගිලපු තට්ටයත්

ආ ගමන්ම පිකට් කරා පෙරමුණුගත වූ සොයුරනි
පා ගමන්ම නොගියත් දිනු සියුම් රයිට්ස් ඇත පෙනි පෙනි
මේ ගමන්ම සිහිවෙන රතු මල ‘පතිරණ’ පර වී නැති
මාතලන්ව මතක තියෙන මිතුරු පවුරු තවමත් ඇති

ඉරක් පායනා හෙට දින ගමට යන්ට මඟ බලනා
හඳක් සදිසි සුහද මුහුණු සිව් අවුරුදු බර මිදෙනා
ඉඩක් ලැබෙන විට ලයිබ්‍රි ගියත් ඔන්න දුක හිතෙනා
හඬක් නොමැති මේ අහසට හදක් පුදමු තනි රකිනා

තාර කට්ටෙ නාඩගමේ අවුලේ හෝ හෙවන්ස් වලදි
සිරීපාදෙ දැන් නොවුණත් එයාපෝට් එකේදි හරි
හමුවිය යුතු බෝ මිනිසුන් බෝ කල මව් පොළොවෙදි අපි
වැළඳගනිමු - වෙන් වී යමු - යළි හමුවෙමු ඇති තුරු දිවි !

| කසුන් මහේන්ද්‍ර හීනටිගල
















Previous
Next Post »