ඉතිහාසය පෙළ පොතට වැරදුනාද?......


කසුන් මහේන්ද්‍ර හීනටිගල එක්තරා ආකරයකට ලෝකයේ සිදු වන දේශපාලන,ආර්ථික,සමාජයීය ගතිකයන්හි දිශානතිය වෙනස්ම ආකාරයකට විග්‍රහ කරන නව පරම්පරාවේ මාධ්‍යවේදියෙකි.මේ ඔහු විසින් තබන ලද 'ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ආභාෂය ලාංකේය ජාතික ව්‍යාපාරයට දැනුන ආකාරය දැක්වෙන' කෙටි සටහනකි මේ.එය ඔබේ දැනුවත් බව උදෙසා ගෙන ඒමට අවසර!


ඉෂාර ලක්මිණ




මේ මාසෙ මුල මෙවර සා.පෙළ ‘ඉතිහාසය’ පන්තියෙදි සාකච්ඡා කෙරුව පාඩම් කොටසක් වුණේ ‘ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ආභාසය මෙරටට දැනුණ විදිහ.’

ඔන්න ඔය කොටසෙදි පැරණි සිලබස් එකේ නං විශාල කොටසක ඉන්දියානු ජාතික ව්‍යාපාරෙ ගැන සඳහන් කරල තිබුණා. ඒත් අඩු ලුහුඬුකම් බොහොමයි. ඊට හපන් අලුත් සිලබස් එක! ඒ ගැන තියෙන්නෙ ‘එක ඡේදයක් විතරයි.’

ඒ හැමදාම දකින කුකුළගෙ කරමලේ වගේ ඇස් පියන් වුණත් කියන්න පුළුවන් නම් ලිස්ට්ටෙක එක්ක. ‘මහත්මා ගාන්ධි - දඩාභායි නඔරෝජි - ලාලා ලජ්පත් රායි’ වගේ සුපුරුදු නම්.


නමුත් මගේ ටියුට් සැකසීමෙදි සහ ඉගැන්වීමෙදි මං මීට වඩා ‘ඇත්ත ඉන්දීය ජාතික ව්‍යාපාරෙ සහ නම් ගැන’ වගේම වෙච්ච සිදුවීම් ගැන දරුවන්ව දැනුවත් කරනවා. ඒ ගැන ගිය වසර වල පන්ති ආව දරුවොත් සාක්ෂි දරනවා.

ඊයෙ අපේ පන්තියෙ ඉන්න, සිසුවියක් මගෙන් හරි ලස්සන (ඛේදනීය) ප්‍රශ්නයක් අහනවා.

‘සර් ඇත්තටම භගත් සිං කියල කෙනෙක් හිටිය කියල විශ්වාසෙන් කියන්න පුළුවන්ද ?’

මම මොහොතක් නිහඬ වුණා. මං එක දෙයයි ඇහුවෙ.
‘ පුතා ඇයි එහෙම අහන්නෙ..?’

‘නෑ මේ අපේ ඉස්කෝලෙ ටීචර් කිව්වා මං ඒ ගැන ඇහුවම එහෙම කෙනෙක් හිටියද කියල විශ්වාසෙන් කියන්න අමාරුයි කියල’
ඔන්න ඕකයි තත්වෙ ! බලාගෙන යනකොට මේ දරුවා ඉගෙන ගන්නෙ කොළඹ අති සුප්‍රකට කාන්තා විද්‍යාලෙක.

මං ඊයෙ කතා කරන්න යෙදුණ පාඩම මොහොතකට නතර කරල මුළු පන්තියටම නැවතත් සුළු වෙලාවක් අරන් ‘යටත් විජිත ඉන්දියාවෙ හිටපු ඇත්ත මිනිස්සු’ ගැන මතක් කරල දුන්නා. මේ නම් විභාගෙට නෙමෙයි , ‘ජීවිතේට එකතු කරගන්න’ කියල කියල දුන්නා.

‘කුදිරාම් බෝස් - භගත් සිං - චන්ද්‍රසේකර් අසාද් - සුක්දේව් - සූර්යා සෙන් - කල්පනා දත්තා...’ වගේ ඇත්ත නම් !

විෂය නිර්දේශ වල විතරක් හිරවෙලා වහල් ජීවිත ගත කරන , ඉන් එහා ලෝකය ගැන කිසිවක්ම නොසොයන සමහරු නිසා දරුවන්ගෙ අනාගතේම ‘බොරුවක’ හිරවෙන්න පුළුවන්.

අන්න ඒ හින්දා පළවෙනි දේ ‘ඉගැන්වීම’ කරන්න ඕනිම ‘විශ්වාසය තහවුරු කරන්න පුළුවන් හදවත්’ විතරයි.

මං බලාගෙන ඊට පස්සෙ අර දරුවා ටියුට් එක අරන් ‘භගත්ගෙ නම’ හයිලයිට් කරනවා !


සටහන - කසුන් මහේන්ද්‍ර හීනටිගල












Previous
Next Post »