මොහොමඩ් අලී සහ වීරත්වය




මොහොමඩ් අලී වීරයකු වන්නේ දක්ෂයකු නිසා පමණක් නොවේ. ඔහු ඒ දක්ෂතාවය හරහා තමාට ලැබෙන්නාවූ බලය හා වරප්‍රසාද සුදු ජාතික ලෝකයක් තුල පීඩිතයින් බවට පත්වූ කල්ලන් වෙනුවෙන් එඩිතරව යෙදවීම නිසායි. ඒ උදෙසා සමාජ හා මතවාද වෙනසකට දැවන්ත බලපෑමක් කරමින් මානව සමානත්මතාවය උදෙසා තම ක්‍රියාකාරී කාලය තුළ නොනවතින හඬක් බවට පත්වීම නිසායි.

අලී සමඟ සැසඳීමේදී, දක්ෂයා හා වීරයා හැම විටම එකකු නොවන බව පෙනේ: දක්ෂයා සමහරවිට තම වාසිය උදෙසා භයගුල්ලෙකු හා අවස්ථාවාදියකු විය හැකිමුත් වීරයා කෙතරම් දක්ෂ හා ජනප්‍රියත්වයට පත්වුද තම මතය හා ස්ථාවරත්වය වෙනුවෙන් ඕනෑම පාඩුවක් විඳගන්නට බිය නැති බොහෝ විට මරණය පවා නොසලකා හැරි මිනිසෙකි. උදාහරණයකට ෂොන් පෝල් සාත්‍රේ තමාට ලැබුණ මුළු නොබෙල් ත්‍යාගයම ප්‍රතිපත්ති හේතු මත ප්‍රතික්ෂේප කල අතර මාලන් බ්‍රැන්ඩෝ සුදුජාතිකයින්ගෙන් ඇමරිකානු මුල් පදිංචිකරුවන්ට වන අසාධාරණයට එරෙහිව හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ගැනීම ප්‍රතික්ෂේප කලේය, සොක්‍රටීස් මතය වෙනස් නොකර වස බොන්නට තීරණය කලේය. එහෙත් වීරයා ද මිනිසෙකු ලෙස පරමාදර්ශී නොවන අතර අලී පවා විවාදාත්මක කරුණු වලින් යුක්තය. මොහොමඩ් අලී වැනි බොහෝ වීරයින්ගේ ඇති පොදු ලක්ෂණයක් වන්නේ තමාටම ආවේණික රටාවකින් විෂයේ ‘ඔස්තාර්‘ වීමත්, අසීමිත ආත්ම විශ්වාසයත්, ක්‍රම විරෝධී වීමත්, ප්‍රතිපත්ති පාවා නොදීමත් ය. බොහෝවිට ඔවුන්ව විනිශ්චය කිරීමට ද සාමාන්‍ය මිනිසාගේ මිණුම්දඬු අදාල නැත. අලී කියා ඇති විශාල ප්‍රකාශ තොගය බැලුවොත් ඒවා උද්දච්චය. ‘මම තොපි ඔක්කටම වඩා ශේෂ්ඨයි’ යැයි ඔහු නිතර පුනරුච්චාරණය කල අතර අපට අනූව ඒවා පොරටෝක්ය, ඔහු උසස් එකෙක් විදියට නිහතමානී විය යුතුය. නමුත් මනෝවිද්‍යාත්මකව ඒ පුනරුච්චාරණය ශේෂ්ඨයා බිහිවීමට හේතුවෙයි. මෙතන ක්‍රම විරෝධී යනුවෙන් අදහස් කළේ තම විෂය හරහා ඒ මොහොතේ බහුතරය නිවැරදි යැයි විශ්වාස කළ අධිපති සමාජ සදාචාරය, දේශපාලනය ආදියට පටහැනි වීමයි. ගෞතම සිද්ධාර්ත ද ක්‍රම විරෝධියෙකි, ඔහුගේ මූලික ඉගැන්වීම් එකළ පැවතුන බොහෝ විශ්වාස වලට, රැඩිකල් ලෙස විවේචනාත්මකය, පටහැනිය.


හොඳින් බැලුවොත් මෙවැන්නන් බොහෝ විට බිහිවී ඇත්තේ ප්‍රථිවිරෝධතා වලට නැගිටීමට අවම හෝ හැකියාවක් ඇති, පොදු බන්ධනයට යටත්නොවී පවතින්නට යම් හැකියාවක්වත් ද ඇති සංකීර්ණ හා වේගයෙන් පරිවර්තනය වන සමාජයන් තුලිනුයි. පැරණිම උදාහරණකට ඉන්දයාවේ සිද්ධාර්ත සිටි පරිසරය, අතැන්ස් හී සොක්‍රටීස් හිටි සමයත් මෑත යුගයට එන විට පැරිසිය, ලන්ඩනය, නිව් යොර්ක් හා බර්ලින් ආදීය ප්‍රමුඛ එම රටවල සමහර නගරත් පෙන්විය හැකිය. මෙහි විරුද්ධ සමාජ පරිසරයන් වන්නේ සංකීර්ණත්වය වෙනුවට බහුතරය එක ප්‍රධාන මතයකින් බැඳී, හරියට ගමක සියළුමදෙනා මෙන්, ඒ පොදු මතයෙන් ඉතා දරුණු ලෙස මිනිසාගේ පුද්ගල පෞර්ෂය පාලනය වන සමාජයන්ය. වඩාත් කැපී පෙනෙන උදාහරණයකට සමහර අන්තවාදී මුස්ලිම් සමාජයන් පෙන්වා දිය හැකිය. බොහෝ විට එවැනි සමාජයන් තුල වීරයා ලෙස බිහි වන්නේ ඉතිහාසය පුරා ඉතා සුලභව හමුවන වර්ගය වන තම ගෝත්‍රය වෙනුවෙන් සටන් කල හෝ මැරෙන්න ගිය එකාය. නැත්නම් ඉඩම් වෙනුවෙන් සටන්කල උන්ය. අර කලාව, දර්ශණය, දේශපාලනයේ සිට ක්‍රීඩාව දක්වා සුවිශේෂ පෞර්ෂ ලක්ෂණවලින් සමාජ පරිවර්තනයට බලපෑම් කරන විෂයේ දක්ෂ ක්‍රම විරෝධි වීරයා එම සමාජයන් තුලින් බිහිවනවා අඩුය. සමහරවිට එවැනි සමජයක සුළු ජාතික ක්‍රීඩා තරුවක් බිහිවුව ද පීඩිතයින් වෙනුවෙන් කතා කරනවා වෙනුවට මහා ජාතියේ සුරතලයකු ලෙස වරප්‍රසාද ගෙන සැඟව ඉන්නට කැමතිය. එසේ සටන් කරන්න ගියොත් ඔහු වීරයෙක් නොවන්නටත් ඉඩ ඇත.

එහෙත් අවසානයේ වීරයා තීරණය කරන්නට පොදු නිර්වචනයක් නැති අතර කෙනෙකුට වීරයෙක් තවකෙකුට වීරයෙක් නොවිය හැකිය. එබැවින් ඔබ කැමති වීරයා ව්‍යාපාරික ක්‍රීඩකයෙක්ද ඉඩම් වෙනුවෙන් මළ එකෙක්ද අලී වගේ මළ එකෙක්ද යන්න ඔබට තීරණය කල හැකිය.

අවසානයේ අපෙන්ම ප්‍රශ්ණයක් අපටම ඇසිය හැකිය. මොහොමඩ් අලීගේ මරණය ශ්‍රේෂ්ඨයකුගේ මරණයක් ලෙස බටහිර විසින් අපට සොයා නොදෙන්න අප විසින් ඒ ශේෂ්ඨත්වය සොයාගෙන සමරයිද?


ධනංජය කරුණාරත්න | Dhananjaya Karunarathne

Previous
Next Post »