දැඩි දඬුවම් ලබා දිය යුතු සාහසික සරසවි නවක වධය(උපුටා පළ කිරීමකි.)


මෙම ලිපිය ලිවීමට මා පෙළඹ වූ ආසන්නතම සිදුවීම මෙහි ආරම්භයේදීම සඳහන් කිරීම වැදගත්ය. මන්ද යත් අමානුෂික නවකවධය හේතුවෙන් සිදුවෙමින් පවතින සිදුවීම්වල ඛේදනීය තත්වය අවබෝධ කර ගැනීමට මෙකී සිදුවීම පමණක් වුව ද ප්‍රමාණවත් වන බැවිනි. එහෙත් මෙවැනි සිදුවීම් සිය ගණනින් සිදු වුව ද ඒවා පිළිබඳ කිසිදු තැකීමකින් තොරව නවකවධය මෙහෙය වන පිරිස් සිටින බව ද රහසක් නොවේ. කෙසේ වුවත් මෙවැනි එකදු සිදුවීමක් පිළිබඳව හෝ සමාජ අවධානය යම් තරමකට හෝ යොමු කිරීම මාගේ යුතුකමක් සහ වගකීමක් වශයෙන් සලකා මා විසින් අත්දකින ලද හද කම්පා කරවන සුළු මෙම සිදුවීම පිළිබඳ මෙසේ සටහනක් තබමි.
පසුගිය සතියේ දිනක අධ්‍යයන අවශ්‍යතාවක් වෙනුවෙන් මාධ්‍යවේදියෙකූ හමුවීම සඳහා ඔහු සේවය කරනු ලබන ප්‍රාදේශීය ගුවන්විදුලි මධ්‍යස්ථානය වෙත යාමට මා හට සිදුවිය. ඒ සඳහා මා එහි ගිය අවස්ථාවේ දී එම නාලිකාවේ උසස් නිලධාරිනියක සමඟ කතාබහ කිරීමට මා හට අවස්ථාව සැලසුණු අතර මා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු බව දැන ගැනීමෙන් පසු ඇය විසින් මෙම ලිපිය ලිවීමට මා පොළඹ වන ලද එම අනුවේදනීය සිදුවීම මා හමුවේ ප්‍රකාශ කරන ලදි.

එනම් ඇගේ දියණිය උසස් පෙළ විභාගය ඉහළින් සමත් වීමෙන් අනතුරුව මෙරට එක්තරා රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වී තිබේ. කෙසේ වුවත් ඇයට එම සරසවියේ දී මුහුණ පෑමට සිදුවූ අමානුෂික නවකවධය හේතුවෙන් ඇය සරසවි යාම ප්‍රතික්ෂේප කළ බව මෙම නිලධාරිනිය හැඬූ කඳුළෙන් මා සමඟ ප්‍රකාශ කර සිටියාය. එහෙත් තම දියණියගේ අනාගතයට මෙසේ කණකොකා හැඬීමට ඉඩ දී බලා සිටීම දෙමව්පියන් ලෙස යුක්ති සහගත නොවන බැවින් ණය මුදලක් ලබාගෙන තම දියණිය එක්තරා පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක් සඳහා යොමුකළ බව ඇය තවදුරටත් ප්‍රකාශ කර සිටියාය. මෙම සිදුවීම අමානුෂික නවක වධය හා සම්බන්ධ තවත් එක් ඛේදනීය හුදකලා සිදුවීමක් පමණි. එසේ වුවත් අසරණ දෙමව්පියන්ගේ නෙත්වලට කඳුළු නංවමින් මෙවැනි සිදුවීම් සිය ගණනින් සිදුවෙමින් තිබේ. මෙම ලිපිය ඊට එරෙහිව කිසියම් හෝ හඬක් නැඟීම පිණිසය.

සමස්ත සමාජයම දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින සරසවි පද්ධතිය පුරා පැතිරී පවතින පිළිලයක් ලෙස සරසවි නවක වධය පෙන්වා දිය හැකිය. ඇතැමුන් මෙම ක්‍රියාව හුදෙක්ම ජ්‍යෙෂ්ඨයින් විසින් සරසවියට පැමිණෙන නවකයින් හඳුනා ගැනීම සඳහා භාවිත කෙරෙන ක්‍රියාවලියක් ලෙස පෙන්වා දුන්න ද එහි සැබෑ තත්වය කිසිසේත් එසේ නොවන බව සරසවි අධ්‍යාපනයේ නියැලෙන බොහෝ දෙනා සිය අත්දැකීමෙන්ම දනිති. මන්ද යත් එකී හඳුනාගැනීමේ ලේබලයට මුවා වී නවකයන් කායිකව හා මානසිකව පෙළමින් ඇතැම් විට අතිඅමානුෂික අන්දමින් ජ්‍යෙෂ්ඨයින් විසින් මෙහෙයවනු ලබන නවක වධ ක්‍රියාවලිය බුද්ධිමත් සරසවි විද්‍යාර්ථින්ට ගැළපෙන ක්‍රියාවක් නොවේ. එහෙත් තවමත් සරසවි උපසංස්කෘතියේ සෙවණැල්ල යට දහස් ගණනක් නවක ශිෂ්‍ය ප්‍රජාව බිල්ලට ගනිමින් ඇතැම් සරසවි තුළ ක්‍රියාත්මක වන සාහසික නවක වධ ක්‍රියාවලිය මැඬලීම සඳහා පසුගියදා කැළණි සරසවියෙන් මෙරට සමස්ත සරසවි පද්ධතියටම ආදර්ශයක් ලබා දෙන ලදි. මෙම ලිපිය එම අමානුෂික නවකවධය හා ඊට එරෙහිව මේ දිනවල නිර්මාණය වී තිබෙන සමාජ කතිකාවතට ඌන පූර්ණයක් සැපයීම සඳහා තබන සටහනකි.

තම දියණියට හෝ තම පුත්‍රයාට සරසවි ප්‍රවේශය අත්කර දීම සඳහා අහිංසක දෙමව්පියන් සිදුකරන කැප කිරීම අතිමහත්ය. එය තම දරුවාගේ ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ද්විතීයික අධ්‍යාපනය දක්වා සිදු කරනු ලබන නොනිමි උත්සාහයකි. මෙරට අතිතරඟකාරී විභාගයක් වන උසස් පෙළ විභාගය ඉහළ ප්‍රතිඵල සහිතව සමත් වී දෙමව්පියන්ගේ සිහින සැබෑ කරමින් සරසවි ප්‍රවේශය ලබා ගන්නා දියණිය හෝ පුත්‍රයා උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වන සරසවිය අතිශය සුන්දර ලෝකයක් බව සිතා සිටින දෙමව්පියන් ඉන්පසු හෙළන්නේ සැනසුම් සුසුම්ය. ඔවුන් ප්‍රාර්ථනා කළ අරමුණ තම දියණිය හෝ තම පුත්‍රයා සාක්ෂාත් කර ගත් බව සිතා ඔවුහු සැනසෙති. එහෙත් දෙමව්පියන්ගේ එම සැනසීම සැබෑ සැනසීමක් ද නැතහොත් සදාකාලික වේදනාවක් ද යන්න තීරණය කරනු ලබන්නේ සරසවියේ ජ්‍යෙෂ්ඨයින් විසිනි. ඒ නවකවධ ක්‍රියාවලිය තුළ අසරණ දෙමව්පියන්ගේ තුරුලෙන් මිදී සරසවි මාතාවගේ තුරුලට පැමිණෙන අහිංසක දරුවන්ගේ ජීවිත අඳුරු කිරීමට සරසවියේ ඇතැම් ජ්‍යෙෂ්ඨයින් කටයුතු කරන බැවිනි. එම තත්වය තුළ දහසක් සිහින සිත දරා සරසවියට තිළිණ කළ තම දියණිය හෝ පුත්‍රයා අකාලයේ සරසවි දොරටුවෙන් යළි දෙමව්පියන් කරා පැමිණෙන්නේ ඔවුන් සිහිනෙකින්වත් නොසිතූ පරිදි ඇතැම්විට කායික හෝ මානසික ආබාධිතයෙකු ලෙසිනි. නැතහොත් නැවත කිසිදා සරසවියට පය නොතැබීමට සිතා ගත් උපාධිය අත්හැර දැමූවකු ලෙසිනි. එසේත් නැතිනම් සරසවියට වෛර කරමින් කිසිවෙකුටත් නොදන්වා මාරයා සොයා ගිය අකල් මරණයක් හිමිකර ගත්තෙකු ලෙසිනි. එසේ නම් මෙම සාහසික නවකවධය කෙතරම් බරපතලව ක්‍රියාත්මක වනවා ද යන්න තවදුරටත් මුසාවක් නොවේ. එබැවින් මෙවැනි දෑ ඉකුත් වසර ගණනාව පුරා මෙරට රාජ්‍ය සරසවි පද්ධතිය තුළින් විවිධ අවස්ථාවන්හි දී වාර්තා වූ බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

ඒ අනුව 1975 වසරේ සිට නවක වධ සිද්ධි හේතුවෙන් වාර්තා වූ මරණ ප්‍රමාණය 9 කි. ඊට අමතරව තවත් බොහෝ පිරිසක් කායික හා මානසික ආබාධවලට ගොදුරු වී තිබේ. මෙම මානසික ආබාධ අතරින් ඇතැමෙක් මානසික රෝහල් ගත වන තත්වයටම ඔවුන්ගේ මානසික ආබාධ බරපතල වූ බව පැවසිය යුතුය. එසේම අමානුෂික නවක වධයෙන් පීඩා විඳිනු නොහැකිව සරසවි හැර ගිය බොහෝ පිරිසක් ද වෙති. මා මුල් වරට ගණිත අංශයෙන් උසස්පෙළ විභාගයට සූදානම් වූ අවධියේ දී පාසලේ මාගේ පන්තියේ අධ්‍යාපනය හැදෑරූ මාගේ මිතුරෙක් පේරාදෙණිය සරසවියේ විද්‍යා පීඨයට ඇතුළත් වූ අතර සරසවියේ දී ලබාදුන් අමානුෂික නවකවධය දරා ගත නොහැකිව ඔහු සරසවිය අතහැර ගිය අතර ඉන් කලකට පසුව නැවත සරසවියට පැමිණ උපාධිය සම්පූර්ණ කළ ඔහු දැන් උසස් රැකියාවක නිරත වී සිටියි. එහෙත් මෙසේ සරසවිය අත්හැර යන ඇතැමුන් නැවත සරසවියට පැමිණෙන්නේම නැත. නොඑසේනම් මාගේ මිතුරා මෙන් කලකට පසු නැවත උපාධිය ලබා ගැනීමට පැමිණේ. කෙසේ වුවත් උසස් පෙළ විභාගයෙන් පසුව සරසවි පැමිණ සරසවි හැර යාමට වේ නම් එය කෙතරම් නම් අභාග්‍ය සම්පන්න ද? එම ඛේදවාචකය දැන් සිදු නොවේ යැයි කිසිවෙකුට හෝ තර්ක කළ නොහැකිය. මන්ද යත් ඒ සියල්ලටම වග කිව යුතු සාහසික නවකවධය ක්‍රියාත්මක වන තෙක් එම අවාසනාවන්ත තත්වය මෙරට සරසවි පද්ධතියෙන් අතුගා දැමිය නොහැකි නිසාවෙනි. එබැවින් කැලණිය සරසවියෙන් මුල පිරුවාක් මෙන් අමානුෂික නවක වධය ක්‍රියාත්මක කරන්නන්ට එරෙහිව නීතිය මඟින් දැඩි දඬුවම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

කැලණිය සරසවියේ නවක වධ සිද්ධියකට අදාළව සිසුවියන් සහ සිසුන් කිහිපදෙනෙක් රිමාන්ඩ් භාරයට පත් කිරීම මෙකී අමානුෂික නවක වධ ක්‍රියාවලියට එරෙහිව එසේ නීතිය ක්‍රියාත්මක වූ ප්‍රශංසනීය තත්වයකි. මෙහි දී නවක වධ සිද්ධියේ ස්වභාවය සැලකිල්ලට ගනිමින් නීතිය ඊට එරෙහිව ක්‍රියාත්මක වීම යුක්ති සහගත නොවන බව ඇතැමෙක් පවසන්නේ නම් ඔවුන්ට පෙරළා පැවසිය යුත්තේ නවක වධ ක්‍රියාවලියම හුදෙක් නීති විරෝධී වන බව සහ ඊට එරෙහිව නිතිය ක්‍රියාත්මක විය යුතු වුවත් මෙතෙක් කල් එසේ සිදු නොවූ නිසා සියලු සාහසික නවක වධ ක්‍රියාවන්ට එරෙහිව නීතියේ මෙම මැදිහත් වීම අතිශය සාධනීය පියවරක් වන බවය. කිසිවෙකු හෝ එය ශිෂ්‍ය මර්දනයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ දරන්නේ නම් එය එසේ නොවන බවට ඕනෑ තරම් කරුණු ගෙනහැර දැක්විය හැකිය. එනිසා සිය අයිතීන් දිනා ගැනීම උදෙසා සිදු කරන ශිෂ්‍ය අරගල සමඟ මෙම සිදුවීම පටලවා නොගත යුතු බව ද ප්‍රකාශ කරමි.

එසේම සරසවි සිසුන්ගේ අයිතීන් උදෙසා පෙරමුණ ගෙන කටයුතු කරනු ලබන ශිෂ්‍ය සංවිධාන පිළිබඳව ද මෙහි දී යමක් සඳහන් කළ යුතුය. විශේෂයෙන්ම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හෙවත් අන්තරය, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය හා මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානය ඇතුළු සියලු ශිෂ්‍ය සංවිධාන මෙම අමානුෂික නවක වධ ක්‍රියාවන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නොමැති බව සඳහන් කරන්නට සිදුවීම කණගාටුදායකය. අවම තරමින් නවකවධයට එරෙහිව නැගී සිටීමට හෝ අමානුෂික නවක වධයට ලක්වූවන් පිළිබඳව සොයා බලන්නට හෝ මෙකී ශිෂ්‍ය සංවිධාන කටයුතු කර ඇත්දැයි යන්න විමසිය යුතුය. විශේෂයෙන්ම නවකවධ ක්‍රියාවක් නිසා තවත් සහෝදර සිසුවෙකුගේ මානව අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය වන විට කිසිවක් සිදු නොවූ ලෙස ඇස කන වසාගෙන සිටීමට මෙම ශිෂ්‍ය සංවිධාන කටයුතු කිරීම සිසුන්ගේ අභාග්‍යයක් බව පුන පුනා පැවසිය යුතු නැත.

තව ද මෙම චෝදනාව සරසවි සිසුන්ගේ අයිතීන් උදෙසා කැපවන මෙකී ශිෂ්‍ය සංවිධානවල සක්‍රීය ක්‍රියාකාරිත්වය විවේචනය කිරීමක් නොවන බව ද සඳහන් කළ යුතුය. මන්ද යත් මෙහි දී සෘජුව ඔවුන් වෙත නඟන චෝදනාව වන්නේ අමානුෂික නවකවධයට එරෙහිව කටයුතු නොකරන්නේ මක් නිසාද යන්නයි. තව ද මෙම ශිෂ්‍ය සංවිධාන එම නවක වධ ක්‍රියා මෙහෙයවන බවට චෝදනා කිරීම ද මෙහි දී සිදු නොකරන අතර නවකවධ ක්‍රියාවලිය සරසවි උපසංස්කෘතිය වීම නිසා එය සරසවි තුළින් තුරන් කළ නොහැකි බව පවසා අත පිසදා ගැනීමට ඔවුන්ට කටයුතු කළ නොහැකි බව ද අවධාරණය කළ යුතු වේ.

අතීතයේ දී නවකවධ කාල සීමාව නවක සිසු සිසුවියන්ට සරසවිය පිළිබඳ නැවුම් අත්දැකීම් ගොන්නක් ලබා දුන් කාල සමයකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් තම මනමේ නාටකයට අවශ්‍ය නළුනිළියන් මෙම සුන්දර නවකවධ කාල සීමාවේ දී සොයා ගත් බව ඔහු විසින් පවසා තිබේ. එහෙත් නවකවධය සම්බන්ධව එවැනි සුන්දර මතකයන් වර්තමානයේ නවක සරසවි සිසුන්ට ඉතුරු නොවන්නේ මෙකී ක්‍රියාවලිය පරපීඩකත්වය ඔස්සේ උත්කර්ෂයට නැංවී ඇති ක්‍රියාදාමයක් බවට පත්වී ඇති නිසාවෙනි. කෘත්‍රිමව නවක සරසවි ශිෂ්‍ය කණ්ඩායම අතර සමගිය වර්ධනය කිරීම තම උත්තරීතර අරමුණ බව පවසමින් එය සාක්ෂාත් කර ගැනීම උදෙසා සිදු කරනු ලබන ඕනෑම ක්‍රියාවක් සමගිය ඇති කිරීමේ නාමයෙන් සාධාරණීකරණය කිරීමට ජ්‍යෙෂ්ඨයින් කටයුතු කිරීම නිරර්ථක උත්සාහයක් වන බව සඳහන් කළ යුතුය.

කෙසේවුවත් මෙම ලිපිය අවසන් කිරීමට පෙර තවත් යමක් පැවසිය යුතුය. එනම් අපරාධකරුවන් දඬුවමට යටත් කළ පමණින් අපරාධ නතර වන්නේ නැත. එහෙත් අපරාධ සඳහා දඬුවම් නොදී සිටියහොත් සමාජය වල් වැදී සමාජය තුළ කැලෑ නීතිය රජ කිරීමට පටන් ගන්නා බැවින් අපරාධ පාලනය කිරීම සඳහා නීති ක්‍රියාත්මක කිරීම සහ දඬුවම් ලබා දීම අනිවාර්ය වේ. විශේෂයෙන්ම මෙහි දී මා විසින් සාකච්ඡා කළ නවක වධය සහිත සරසවි පද්ධතිය තුළට ද මෙම ප්‍රකාශය එලෙසින්ම අදාළ වේ. එනම් නවක වධයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන තෙක් එකී නවකවධ ක්‍රියාවන් තමන්ට රිසි සේ හසුරවමින් නවකයින් කායිකව සහ මානසිකව පෙළීමට ඇතැම් ජ්‍යෙෂ්ඨයින් කටයුතු කරනු ලබයි. එනිසා නවක වධයට එරෙහිව නීතිය සම්මත කොට බොහෝ කාලයක් ගතවීමෙන් පසුව වුව ද එම නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සරසවි නවකවධයට විරුද්ධ පුද්ගලයෙක් ලෙස මා අතිශයින් සතුටට පත්වෙමි. එසේම නවකවධයට එරෙහි මෙම නීතිමය ප්‍රතිපාදන වෙනත් හේතු මත ශිෂ්‍ය මර්දනය උදෙසා යොදාගැනීමට උත්සාහ නොකළ යුතු බව ද මෙහි දී සඳහන් කිරීම වැදගත්ය. තව ද නවකවධයට එරෙහිව සැමවිටම සිසුන් රිමාන්ඩ් භාරයට පත් කිරීම හෝ වෙනත් දඬුවම්වලට යටත් කිරීම නවකවධය තුරන් කිරීම උදෙසා ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ගය නොවන බවත් ඒ සඳහා විවිධ පාර්ශව සහභාගි කර ගනිමින් පුළුල් කථිකාවතකට අවතීර්ණ වීම තුළ සාහසික නවකවධය මෙරට සරසවි පද්ධතිය තුළින් සදහටම තුරන් කර ජ්‍යෙෂ්ඨයින්ට නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් හඳුනා ගැනීම සඳහා අමානුෂික නවකවධයෙන් තොර ක්‍රියාවලියකට ජ්‍යෙෂ්ඨයින් යොමු කිරීමට අවශ්‍ය වන වැඩපිළිවෙලක් සඳහා මඟපෙන්වීම ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු සියල්ලන්ගේම වගකීම වන බව ද අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටිමි.



-සුරෝෂන ඉරංග









Previous
Next Post »