~ දයාබර ‘දයා’ සහ විප්ලවීය ‘පතී’ ~කසුන් මහේන්ද්‍ර හීනටිගල විසිනි.



මේ වසරෙත් කොළඹ විශ්ව විද්‍යාලය ඇතුළෙ ‘ජාතික ශිෂ්‍ය වීර දිනය’ සමරනව. ඕක ගිය අවුරුද්දෙ පටන් ගන්න වෙලාවෙම මගේ ප්‍රශ්නෙ වුණේ ‘ජාත්‍යන්තර ශිෂ්‍ය වීරත්වයෙ ලාංකේය සලකුණ’ වෙන ‘දයා පතිරණ’ ගැන කිසිම සඳහනක් නැත්තෙ ඇයි ? කියන එක. ඒක 'නිර්මාල් රංජිත් දේවසිරි ආචාර්යවරයත්’ ඔහුගෙ දෙසුමෙදි ප්‍රශ්න කළා මතකයි.

ඉතින් මේ වසරෙදිවත් ඒ ‘බරපතල දුර්වලතාවය’ නිවැරදි කර ගනු ඇතැයි හිතනව.

කිසිම ටේබල් ගැනිල්ලකදි - කිසිම තෙලකදි - කිසිම සාකච්ඡාවකදි මේ ආසන්න වසර කිහිපයෙ කොළඹ සරසවියෙ හිටිය කිසිම ශිෂ්‍ය නියෝජිතයෙක් ‘දයා’ගෙ නම කියනව මං අහල නැහැ. එක්කො ඔවුන් දයා ගැන දන් නැහැ. එක්කො ඔවුන්ගෙ ‘භාරකාර මණ්ඩලය’ දයා ගැන එළියට එන්න දෙන් නැහැ. එක්කො ‘ජාතික විරුවො’ මැද්දෙ මේ ‘ස්වාධීන නායකයා’ ඔවුන්ට පේන්නෙ නැහැ. දැන් ඇස් හරින්න !

මේ සටහන ‘දයා’ ගැන නොදන්න හැමෝටම...

දයා ඉපදෙන්නෙ මාතර අපරැක්කෙ කුඩා දිළිඳු ගොවි පවුලක. මනුස්සයගෙ සම්පූර්ණ නම ‘දයා ආනන්ද පියසිරි හේවාපතිරණ.’ සහෝදර සහෝදරියො සත් දෙනෙක් හිටිය පවුලෙ වැඩිමහල් දරුවා දයා. 'දීයගහ නැගෙනහිර විදුහලෙන්' ප්‍රාථමික අධ්‍යාපනය ලබන දයා ජාතික නවෝද ශිෂ්‍යත්වයෙන් සමත් වුණ එකම සිසුවා හැටියට ‘මාතර රාහුල විදුහලට’ ඇතුළත් වෙනව. ඔහුගෙ අධ්‍යාපනයෙ හොඳම කාලෙ ගෙවෙන්නෙ රාහුලේ ඇතුළෙ.

දයා ‘ක්‍රිකට් ක්‍රීඩාවට - බැඩ්මින්ටන් ක්‍රීඩාවට - පාපන්දු - ටේබල් ටෙනිස් වගේම කරාතේ ක්‍රීඩාවටත්’ උපන් හපනෙක්. රාහුලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා හැටියටත් - දකුණු පළාතේ දක්ෂතම පන්දු යවන්නා හැටියටත්’ ඔහු තේරී පත්වෙනව. පාසල් සමයෙ ඉඳන්ම ‘නායකත්ව ලක්ෂණ’ ඔහු නිරායාසයෙන් ඉස්මතු කරනව.

උසස් අධ්‍යාපනය වෙනුවෙන් සරසවි වරම් ලබන ඔහු ‘කොළඹ විශ්ව විද්‍යාලයට’ ඇතුළත් වෙනව. සමාජ ක්‍රමයේ ගැටලු - එකල සමාජයේ ප්‍රශ්න වගේම සරසවිය තුළත් ඉන් පිටතත් දුර්වලතා’ පෙන්වා දෙන ඔහු ‘විශ්වාස කළ යහපත් මතවාදයක් වෙනුවෙන්’ පෙරමුණ ගන්නව. දයා ‘ස්වාධීන ශිෂ්‍ය සංගමයේ’ නායකත්වයට පත්වෙන්නෙ එහෙම ඉතිහාසෙකින්.

මුළු මහත් තාරුණ්‍යයම ‘ශිෂ්‍ය ව්‍යාපාරයටත් - සකලවිධ පීඩිත ජන අයිතීනුත් වෙනුවෙන්’ කැපකරන දයා ‘දේශප්‍රේමයේ බොරු සළු පැළදි එකල රත්තන්’ තාර්කිකව පරාජය කරන්න කිසිම මොහොතක පැකිළෙන් නැහැ.

අනෙක් අතට දයා කියන්නෙ අතිශය නිර්මාණශීලි මිනිහෙක්. පස්සෙ කාලෙක වෙනත් දේශපාලන ව්‍යාපාර විසින් පෝස්ටර දහස් ගාණක අඳින මේ කවිය මුලින්ම ලියැවෙන්නෙ ‘දයාගෙ අතින්’. ඔහු කවුද කියල දැනගන්න ‘මේ කවියම’ මහා අත්පොතක් !

‘කන් හිරි වැටෙන ළය පුපුරන වෙඩි සද්දෙන් 
නොසැලෙන පිරිස පමණක් අප හා එද්දෙන් 
ගමනට දෙපා පණ නැති අය නවතිද්දෙන් 
ජයබිම කරා අපි යමු පෙරමුණ මැද්දෙන්.’

‘මාක්ස් - ලෙනින්වාදී දර්ශනය’ ගැන එවකට ගැඹුරු හැදෑරීමක හිටිය දයා පැහැදිලිවම ‘අනෙකාගේ සටන් කිරීමේ අයිතිය - පීඩිත විමුක්තිය’ පිළිගන්නව.

කුසගින්න හින්දම ඇල්වතුර විතරක් බීලා බඩට කොට්ටයක් හිර කරන් රැය ගෙවන දයා තවත් වෙලාවක ජිම් කැන්ටිමෙන් බඩ පිරෙන්න කිරි වීදුරුවක් බොනවලු. ඒ දයාට ‘ගෑස්’ තිබිච්ච හින්දා. කිසිකෙනෙක්ට ඒ ගැන කියන්නෙත් නෑලු. මේ මොනතරං අවංක මිනිස්සුද ?

‘දේශපාලනය’ විතරක් නෙමෙයි ‘කලාව - සාහිත්‍යය’ ගැන දයාගෙ දැක්ම මේ විදිහයි.

‘පෞද්ගලික අනුභූතීන් සාහිත්‍යයට ගේන්න වෙනව. නමුත් භාවාතිශය වෙන්නම හොඳ නැහැ. භාෂාව භාවාතිශය විදිහට පාවිච්චි කළාම දෘෂ්ටිවාදය මැරෙනව.’

සරසවියෙ විප්ලවීය පතී, ගෙදරට ගිය ගමන් දයාබර දයා වෙන්නෙ මෙහෙමයි.

‘ගෙදර ආපු දවසට එයාට නින්දක් නැහැ. ගෙදර කාගෙත් ඇඳුම් මහන්නෙ - කපන්නෙ පුතා. නංගිලාගෙ ගවුමුත් කපල මහනව. තව වෙලාවකට කරණවෑමියෙක් වගේ. නංගිල මල්ලිලගෙ කොණ්ඩ කපන්නෙත් එයා. ඔරලෝසු හදන්නත් පුළුවන්. මේසන් වැඩ වගේ දේවල් වුණත් කරනව. කට්ටියට කරාටේ පුරුදු කරනවා හරි ආසාවෙන් ගෙදර ආවම. විශ්ව විද්‍යාලෙ හිටියත් අපිට කිසිම දවසක කරදර කළේ නැහැ. ටියුෂන් පන්ති තියල එයාගෙ වියදම හොයාගත්තා. ඒ සල්ලි වලින් අවුරුද්දට එහෙම ගමේ එනකොට අපිට රෙදිත් අරගෙනයි එන්නෙ.’

දැඩි වේදනාවකින් එහෙම කියන්නෙ දයාගෙ තාත්තයි - සහෝදර සහෝදරියොයි.

හිරිමල් යෞවනේ ‘අර්ථවත් අරමුණක්’ වෙනුවෙන් කැපකෙරුව දයාගෙ නැඟී සිටීම බහුතර සතුරන්ට දිරවන්නෙ නැහැ. අදටත් දයාගෙ නම දකිනකොට - ඇහෙනකොට ඔවුන් හැංගි මුත්තන් සෙල්ලං කරන්නෙ ඒකයි.

1986 දෙසැම්බර් 15 වැනිදා කිඳෙල්පිටිය බොල්ගොඩ ගඟ අද්දරදි දයා පතිරණව ගෙල කපා මරා දමනව. 1986 දෙසැම්බර් 24 වැනිදා ‘ඇත්ත’ පුවත්පතේ ‘දයා’ ගැන මෙහෙම පළවෙනව.

‘මෑත කාලයේ ශිෂ්‍ය පරපුරේ සිටි වටිනාම මිනිසා තරුණ පතිරණ බවට සැක නැත. හේ බොහෝ දේ දැන සිටියේය. තව තවත් දේ දැන ගැනීමට වෙර වැඩීය.’

බොකුටු හිසකෙස් පිළිවෙළකට හදාගෙන - සියුම් මන්දස්මිතයක් මුවග දරාගෙන - නොපියවුණු ඇස් අස්සෙ බලාපොරොත්තු තියාගෙන ‘දයා’ අදටත් අපි අතරෙ ඉන්නව. ඔබට ඔහුව මඟ හැර යා නොහැක්කෙ අන්න ඒ නිසා !

කිසිම දිනක ‘අරගලය’ පාවා නොදුන්න දයාගෙ මේ වචන ඇතුළෙ ඔහු තවමත් හුස්ම ගන්නව.

‘අපිව පරද්දන්න අපිට ගහනව නං අපේ කෑල්ලක්වත් ඉතුරු නොකර මරපන්. නොමැරී ඉතුරු වුණොත් කම්කරුවන් ඇතුළු සියලුම පීඩිත ජනතාවගෙ අයිතීන් වෙනුවෙන් ජීවිතය තියෙනකන් අපි සටන් වදිනව.’

‘දයා’ කියන්නෙ එහෙම මනුස්සයෙක්. නොදන්න අයට කියල දෙන්න !


සටහන| කසුන් මහේන්ද්‍ර හීනටිගල

Previous
Next Post »