ශිෂ්‍ය වීර දිනය කොයිබටද?සැබෑ ශිෂ්‍ය වීරයින් කවුද?


"එළිය හදුනන රෑ කුරුල්ලෙක් 
උදෑසනකට අඩ ගසයි 
මෙතෙක් තුඩ ගෑ තිත්ත ඵලවැල 
හොට ඇරී බිම පතිත වෙයි 

.....බලන් අර රණ ගොස නැගෙන තැන 
ඒ ජීවිතේ පෙරමුණයි 
ඉතින් සමුගන්නට කාලයයි 
වහා අපි එහි යා යුතුයි" 


මේ රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් රචිත ගී පද කොටසකි.

මෙම සටහන සදහා ආරම්භයක් ලෙස මෙම ගී පද කොටස උපුටා දැක්වීමට මා පෙළඹවූ හේතුව වූයේ මා දන්නා තොරතුරුවලට අනූව අතීතයේ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමට එරෙහි සටනට පණ පෙවූ 'පද්මසිරි ත්‍රිමාවිතාන' ශිෂ්‍ය නායකයා නිතර මුමුණන ලද ගී පද කොටසක් වීමයි.


ශ්‍රී ලාංකේය ජන විඥානය තුළ නිදහස් අධ්‍යාපන උරුමය රැක ගනු වස් අවංකව කැපවීම් කළ ලාංකේය ශිෂ්‍ය වීරවරයින් සැමරීම වෙනුවෙන් වාර්ශිකව ජුනි මස 20 වන දින 'ශිෂ්‍ය වීර සැමරුම' පවත්වයි.ඒ සදහා පෙර වසර තුළ ශිෂ්‍ය අරගල සදහා වැඩිම දායකත්වය දැක්වූ රජයේ විශ්වවිද්‍යාලය යොදා ගනී.


අපගේ මේ සංවාදය සැබෑ ශිෂ්‍ය වීර වරයින් අද්‍යතන සමාජය තුළ සිටීද යන්නයි.පිළිතුර ඔබට භාර කරමි!වර්තමානයේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දිනෙන් දින නොවිසදුන ගැටලු රාශියක් උද්ගත වෙමින් පවතී.මාළඹේ පෞදගලික විශ්වවිද්‍යාලය පීඨ ගණන දවසින් දවස පැටවු ගහමින් පවතී.


රට තුළ මෙවන් වාතාවරණයක් පවතිද්දී නවක වදය දී හසුව වරදකරුවන් වූ ශිෂ්‍ය කණ්ඩායම් වෙනුවෙන් හඩ නැගීමටත්,මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමටත් පමණක් සීමා වූ තැනකට අද වන විට ශිෂ්‍ය ව්‍යාපාරය පත්ව ඇත.මේ සදහා 'පෙරටුගාමී සමාජවාදී පක්ෂය' විසින් අනවශ්‍ය බලපෑම් සිදු කිරීමත් රහසක් නොවේ.එනයින් කියවෙන සත්‍ය නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පටු දේශපාලන වුවමනාවන් ඉටු කිරීමට පමණක් 'අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය' ප්‍රධාන කරගත් වත්මන් ශිෂ්‍ය නායකයෝයැයි කියාගන්නා පිරිස පත්ව ඇත.


වාර්ශිකව නවක වදයට ගොදුරු වීමෙන් 1,000කට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය හැර යති.100 ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් සදාකල් මානසික ආබාධ, විශාදය වැනි රෝග තත්වයන්ට පත් වේ.නමුත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ප්‍රදාන කරගත් ඊනියා ශිෂ්‍ය නායකාරකාදීන් කවරෙකුවත් එහි වගකීම දරනවාද යනු තීරණය කිරීම ඔබට භාරකරමි.


එමෙන්ම වර්තමානයේ ශිෂ්‍ය සංගම් නිලවරණ වලදීත් ඉන් අනතුරුව සිදු වන ක්‍රියාකාරකම් වලදීත් ශිෂ්‍ය නායකයෝ යැයි පෙනී සිටින්නන් නවක විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයින්ව මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි කරවීම රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සුලබව සිදු වන දෙයකි.ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණික දැනුමින්ද, සිමා,චාටර්ඩ්,නීති ප්‍රවේශය,මානව සම්පත් කළමනාකරණය වැනි වෘත්තීය පාඨමාලාවන් හැදෑරීමටද රාජ්‍ය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයින්ට බාධා කරන නියාලු ස්ථාවරයක පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙරටු කරගත් ඊනියා ශිෂ්‍ය නායකයින් සිටින බව ඔබට එළිදරවු කරන්නේ වගකීමෙනි.


නමුත්,අතීතයේ සිටි වෙනුර එදිරිසිංහ,ආනන්ද ඉඩමේගම,බී.සේනාරත්න,නිමල් බාලසූරිය,සරත් කොල්ලුරේ,සිසිර කීර්ති ජයවර්ධන,වසන්ත කුමාර කුලතුංග,අතුල සේනාරත්න,සුගත් අශෝක ද සිල්වා,නිශාන්ත සම්පත් එදිරිවික්‍රම,ලීල් සමරනාත්,ශාන්ත බණ්ඩාර,පද්මසිරි ත්‍රිමාවිතාන වැනි උසස් ගති ගුණ මනුස්සකම් වලින් සංනද්ධ සැබෑ ශිෂ්‍ය වීර වරයින් ලාංකේය ශිෂ්‍ය ව්‍යාපරය තුළ සිටින ලදි.


එම ශිෂ්‍ය නායකයින් තම නවකයින්ට උපදෙස් දුන්නේ මත් ද්‍රව්‍ය භාවිතා නොකරන ලෙසත්,සෑම මොහොතකම කාලය අපතේ නොයවා ඉගෙනීමක් කරන ලෙසත්ය.එවකට ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ගම්බද පාසල් වලින් විශ්වවිද්‍යාල ප්‍රවේෂය ලබා පැමිණ බිහි වූ ශිෂ්‍ය නායකයින් මෙන්ම කොළඹ ප්‍රධාන පෙළ පාසල් වලින් විශ්වවිද්‍යාල ප්‍රවේෂය ලබා පැමිණ ශිෂ්‍ය නායකයින්ද වූ පිරිස් වලට ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙයවීමේ නිවැරදි දැක්මක් තිබුණි.


නමුත්,වර්තමානය වන විට ගම්බද පාසල් වලින් විශ්වවිද්‍යාල පැමිණ ශිෂ්‍ය නායකයින් බවට පත්ව ගම්බද ළිං මැඩි සංකල්ප පමණක් බාවිතා කරමින් නවීන ලෝකය සමග මුසු වීම රාජ්‍ය විශ්වවිද්‍යාල වල ශිෂ්‍යයින්ට තහනම් කරන වර්තමාන ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙයවන්නන් සැබෑ ශිෂ්‍ය නායකයින්ද ඔවුන් විසින් ශිෂ්‍ය වීර සැමරුම් පවත්වන්නේ පෙර සිටි සැබෑ ශිෂ්‍ය නායකයින්ගේ අභිමානය බලෙන් ආරෝපණය කර ගැනීමේ පටු වුවමනාවෙන්ම පමණකි.



- ඉෂාර ලක්මිණ 



Previous
Next Post »