"බටහිර ජනමාධ්‍ය ක්‍රියාවලිය සහ ගෝලීය සමාජය තුළ අප හමුවේ ඇති අභියෝග"


අද්‍යතනයේ දී අප ජීවත් වන්නේ මානව සබඳතා අතික්‍රමණය කරන ලද තාක්ෂණික සබඳතාවන්ගෙන් සමන්විත ලෝකයකය. අතීතයේ දී මානව සබඳතා වර්ධනය කර ගැනීම සඳහා උපස්ථම්භනය කර ගන්නා ලද තාක්ෂණය වර්තමානයේ දී මානව සබඳතා වියුක්ත කිරීම සඳහා හේතු වීම තාක්ෂණය අභියස අප මුහුණපා සිටින අභියෝගයකි. කෙසේ වුවත් මානවයාගේ සෑම ක්‍රියාකාරකමක්ම තාක්ෂණය මූලික කර ගනිමින් සිදුවීම සහ මානව හැඟීම් සහ චෛතසිකයන් කෙරෙහි ද එයින් සිදු කළ හැකි අති මහත් වූ බලපෑම තුළ මිනිසා විසින් තාක්ෂණය පාලනය කරනවාද එසේත් නැතිනම් තාක්ෂණය විසින් මිනිසා පාලනය කරන්නේ ද යන උභතෝකෝටිකය 21 වන සියවසෙන් පසු ලෝක ප්‍රජාවට නිරාකරණය කර ගැනීමට සිදුවන දැවැන්තම අර්බුදය වන බවට සැකයක් නොමැත. එනිසා එකී තාක්ෂණයේම දිගුවක් වන ජනමාධ්‍ය ක්‍රියාවලිය සහ තාක්ෂණයේ මහිමයෙන් බිහි වූ අංකිතකරණය තුළ නිර්මාණය වූ ගෝලීයකරණ ප්‍රපංචය මඟින් නූතන මානවයා තම ජීවිතවල ඉරණම විසඳා ගනිමින් සිටියි. එබැවින් එම සාධක මඟින් ප්‍රකට බටහිර ජනමාධ්‍ය සහ ගෝලීය සමාජය පිළිබඳ පුළුල් විග්‍රහයකට එළඹීම වැදගත්ය.

15 සියවසේ දී ලෝකයට බිහිවන මුද්‍රණ යන්ත්‍රයේ ආශිර්වාදයෙන් සමාජගත වන පුවත්පත ජනමාධ්‍ය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ලෝක ඉතිහාසය තුළ හමුවන මුල්ම ජන මාධ්‍යය ලෙස හඳුනාගත හැකිය. එහෙත් සමස්ත ලෝක ජනමතය හැසිරවීමෙහිලා සිදුකරනු ලබන ජනමාධ්‍ය භාවිතය 20 වන සියවසේ ආරම්භයත් සමඟ ලෝකයට බිහිවන ගුවන් විදුලිය සිනමාව සහ රූපවාහිනී ආදී වූ මාධ්‍යයන් මෙන්ම 20 වන සියවසේ දෙවන භාගයේ දී ක්‍රමයෙන් වර්ධනය වී 1990 දශකය තුළ ලෝකය පුරා ව්‍යාප්ත වීමෙන් පසු 21 වන සියවස ආරම්භයේ සිට ගෝලීය සන්නිවේදන ප්‍රවාහයේ ප්‍රමුඛයා බවට පත් වී සිටින අන්තර්ජාල මාධ්‍යයත් සමඟ උත්කර්ෂයට නැංවී තිබේ. තව ද ආතර් සී ක්ලාර්ක් විද්වතාගේ සංකල්පයක් ඵල දරමින් බිහිවන චන්ද්‍රිකා තාක්ෂණය ද මෙකී ජනමාධ්‍යන්වල විශ්ව ව්‍යාප්ත ක්‍රියාකාරිත්වය කෙරෙහි සෘජුව බලපා තිබේ.

බටහිර ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය තුළ එක් ප්‍රමුඛතම සංසිද්ධිස්ථානයක් මෙන්ම ලෝක ඉතිහාසයේ ද ප්‍රබල හැරවුමක් සනිටුහන් කරන සිදුවීමක් ලෙස ඇමරිකාව සහ එවකට සෝවියට් දේශය හෙවත් වර්තමානයේ දී රුසියාව ලෙස හඳුනා ගනු ලබන රටවල් ද්විත්වය අතර සිදු වූ සීතල යුද්ධය හෙවත් නිරවි යුද්ධය පෙන්වා දිය හැකිය. නිරවි යුද්ධයක් යන්නෙන් අදහස් කරනු ලබන්නේ අවි දරා මුහුණට සිදු කරනු ලබන සටනක් නොව මතවාදීව සිදු වන ගැටීමකි. එනම් 1917 දී සෝවියට් දේශයේ සිදුවූ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයෙන් පසුව එරට මාක්ස්වාදය මත පදනම්ව ක්‍රියාත්මක වන සමාජවාදී ආර්ථිකයක් සහිත රාජ්‍යයක් බවට පත් විය. කෙසේ වුවත් මෙම ආර්ථික ප්‍රතිපත්තිය ඇමරිකාවේ ලිබරල්වාදී ආර්ථික රටාවට එල්ල කරන ලද මරු පහරක් හා සමාන වූ නිසා සෝවියට් දේශයේ වෙළෙඳපොළ තුළ තම නිෂ්පාදන සඳහා අවස්ථාව ලබා ගැනීම ඇමරිකාවට ඉතා දුෂ්කර විය. එනිසා සුවිශාල සෝවියට් දේශයේ වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමේ අරමුණ පෙරදැරිව ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය සිදු කරන ලද මතවාදී මෙහෙයුම නිරවි යුද්ධය ලෙස ඉතිහාස ගත විය.

විශේෂයෙන්ම මේ සඳහා ලිබරල් ආර්ථික රටාව තුළ උත්කර්ෂයට නැංවෙන නිදහස, ආහාර සංස්කෘතිය, ලිංගික හැඟීම් වැනි කරුණු කෙරෙහි සිනමාව ඇතුළු කලා මාධ්‍යයන් මඟින් සහ අනෙකුත් ජනමාධ්‍යයන් මඟින් ආමන්ත්‍රණය කිරීම සිදුවිය. මෙය දිනක දෙකක ක්‍රියාවලියක් නොව වසර ගණනාවක් පුරා ඇමරිකාව මඟින් සිදු කළ දැවැන්ත ක්‍රියාවලියකි. මෙසේ නොකඩවා සෝවියට් සමාජ දේහය තුළට බටහිර ජනමාධ්‍යයන්ගේ මැදිහත්වීමෙන් පොම්ප කරනු ලැබූ ධනවාදී සංස්කෘතික බීජ එරට තුළ ක්‍රම ක්‍රමයෙන් අතු ලියලා වැඩීමේ ප්‍රතිඵලයක් ලෙස 1991 වර්ෂයේ දී සෝවියට් දේශයේ බිඳ වැටීම සලකුණු වේ.

තව ද 1917 දී සෝවියට් දේශයේ සිදුවූ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය 2010 වර්ෂයේ අග භාගයේ සිට අරාබි කලාපය කේන්ද්‍රකර ගනිමින් පැතිරී ගිය මහජන නැගිටීම සමඟ සංසන්දනය කිරීම ඔස්සේ ද බටහිර ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳ තවදුරටත් පුළුල් විග්‍රහයක නියැලිය හැකිය. එනම් වී.අයි. ලෙනින් නැමැති අසහාය චින්තකයාගේ මෙහෙයවීම සහ මඟ පෙන්වීම ඔස්සේ වසර ගණනාවක් පුරා සිදු කරන ලද අප්‍රමාණ කැපකිරීම් සමුදායක අග්‍රගන්‍ය ප්‍රතිඵලය වන ලෝකයේ ප්‍රථම සමාජවාදී රාජ්‍යයේ බිහිවීම මඟින් සැබෑ ජනතා විප්ලවයක් සිදු කරන අයුරු ප්‍රායෝගිකව සාක්ෂාත් කර තිබේ. එනම් එතෙක් න්‍යායාත්මකව පමණක් පැවති මාක්ස්වාදය ලෙනින්ගේ මූලිකත්වයෙන් මානව සමාජයක් තුළ ප්‍රථම වරට යථාර්ථයක් බවට පත්විය. ඉන්පසු 1991 වර්ෂයේ දී සෝවියට් සංගමය බිඳ වැටෙන තෙක්ම විවිධ ප්‍රතිසංස්කරණයන්ට භාජනය වෙමින් සමාජවාදී රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක විය.

රුසියානු විප්ලවය සැලකීමේ දී එය අරාබි විප්ලවය මෙන් නොව සැබෑ ජනතා විප්ලවයකි. එනම් විප්ලවයක් සිදු කිරීමේ අවශ්‍යතාව සමාජයේ ඉහළම පුරවැසියාගේ සිට පාරවල් අමදින කම්කරුවා දක්වා ඉතා තදින්ම දැනී තිබිය යුතුය. මෙම තත්වය රුසියානු විපල්වය සිදු කිරීමේ දී ඉතා පැහැදිලිව විද්‍යාමාන වූ නමුත් අරාබි විප්ලවය තුළ දී මෙම තත්වය එසේ සිදුවූවාද යන්න ප්‍රශ්නාර්ථයකි. එනිසාම රුසියානු විප්ලවයෙන් පසු එරට දැවැන්ත ඉදිරි ගමනක නියැලෙමින් ලෝකයේ බලවත් රාජ්‍යයක් බවට පත්වූ නමුත් අරාබි කලාපයේ මහජන නැගිටීමෙන් පසු අරාබිකරයේ රාජ්‍යයන් අස්ථාවර හා අරාජික රාජ්‍යයන් බවට පත්විය. ඇතැමුන් මේ පිළිබඳව පළ කරනු ලබන අදහස වන්නේ අරාබි වසන්තය නිශ්චිත නායකයෙකුගේ මෙහෙයවීම මත සිදු නොවීම ඊට බලපෑ බවයි.

බටහිර ජනමාධ්‍යයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විමසීමේ දී මෑත කාලීනව සිදු වූ අරාබි වසන්තය ලෙස බොහෝ දෙනා හඳුනන එහෙත් අරාබි කලාපයට අභාග්‍යය කැඳවූ මහජන නැගිටීම ඒ සඳහා නිදසුනක් වශයෙන් ඉදිරිපත් කළ හැකිය. මන්ද යත් බටහිර රාජ්‍යයන්වල නව ලිබරල්වාදී ආර්ථික න්‍යායපත්‍රයන්ට හිස නොනවමින් කටයුතු කළ අරාබි රාජ්‍යයන්වල කටයුතු සඳහා මැදිහත් වීමට මෙම සමාජයීය සංසිද්ධිය ඔස්සේ අවකාශය නිර්මාණය වූ බැවිනි. විශේෂයෙන්ම එකී රාජ්‍යයන්වල ඒකාධිපති පාලකයින්ට විරුද්ධව ඇතිවූ හුදු මහජන නැගිටීමක් ලෙස මෙම තත්වය අතිශයෝක්තියෙන් ලෝකය ඉදිරියේ වර්ණනා කළ ද එකී මහජන නැඟිටීම් සඳහා එම රටවල විපක්ෂ ක්‍රියාකාරීන්ගේ කටයුතු ඇතුළු හේතු ගණනාවක් බලපෑ බව අමතක නොකළ යුතුය. මේ පිළිබඳ කරුණු දක්වන දේශපාලන විචාරකයින්ගේ අදහස වන්නේ මෙවැනි නැඟිටීම් සඳහා කිසිසේත් එම රාජ්‍යයන් තුළින්ම නිර්මාණය වූ හේතු පමණක් බල නොපාන බවත් ඒ සඳහා බාහිර බලපෑම් ද ඇති වීම අනිවාර්ය සාධකයක් වන බවයි. එහෙත් බටහිර ජනමාධ්‍යයන් මඟින් මෙම බහුමානික විශ්ලේෂණ ලෝකය පුරා ජනගත නොකළ අතර මහජන විරෝධය නැමැති ඒකමානික සාධකය පමණක් එම ජනමාධ්‍යයන් මෙහෙයවනු ලබන බටහිර ධනවාදී රාජ්‍යයන්ගේ අරමුණු අනුව උත්කර්ෂයට නැංවුණි.

“අරාබි වසන්තය” නැමැති යෙදුම පවා බටහිර ජනමාධ්‍යයන් විසින් ලෝකය තුළ ප්‍රචලිත කළ යෙදුමකි. එනම් වසන්තයක් උදා වීම යන්නෙහි අර්ථය වන්නේ සශ්‍රීකත්වය නැතහොත් සෞභාග්‍යය ඇති වීම මිස යමක් පැවති තත්වයෙනුත් අරාජිකත්වයට පත්වීම නොවේ. එහෙත් අරාබි වසන්තය වසන්තයක් බවට පත්වූයේ ලෝකයේ සම්පත් සූරා කෑමට දත කන බටහිර රාජ්‍යයන්ට මිස අරාබි කලාපයේ රටවල්වලට නොවේ. විශේෂයෙන්ම අරාබි වසන්තයේ බලපෑමට ලක්වූ එකී රාජ්‍යයන් තුළ තවමත් දේශපාලන අස්ථාවරත්වය ඇතුළු අර්බුද ගණනාවක් නිර්මාණය වී තිබේ. එසේම අරාබි කලාපයේ ඇතිවූ එම නැඟිටීම දඩමීමා කර ගනිමින් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් එම රටවල්වල ස්වෛරීත්වයට බාධා පමුණුවමින් එම රටවල අසරණ වූ ජනයා කබලෙන් ලිපට ඇද දැමීමේ ප්‍රතිපත්තියක් බටහිර ජනමාධ්‍යයන්ට මුවා වී අනුගමනය කරමින් සිටියි.

එසේම 2003 වර්ෂයේ දී ඇති වූ ඉරාක යුද්ධය වැනි යුධමය තත්වයන් තුළ බටහිර ජනමාධ්‍යන්වල හැසිරීම නිරීක්ෂණයේ දී ද විද්‍යාමාන වන කරුණක් වන්නේ බටහිර රාජ්‍යයන්වල සැඟවුණු න්‍යාය පත්‍ර සඳහා මෙම බටහිර ජනමාධ්‍යයන් සත්‍ය වසන් කරමින් ලෝකය හමුවේ කරුණු ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරීමේ ව්‍යාජ හේතුව ලෙස බටහිර ජනමාධ්‍යයන් විසින් එරට න්‍යෂ්ටික අවි සඟවාගෙන සිටින බවට ඇමරිකාව සිදු කළ චෝදනාව ඉස්මතු කර දැක්වූ අතර ඒ සඳහා බලපෑ සැබෑ හේතුව වූ ඉරාක තෙල් සම්පත උදුරා ගැනීම නැමැති හේතුව වසන් කරන ලදි. එමඟින් ඉරාක පාලකයා වූ සදාම් හුසේන්ට විරුද්ධව ලෝක ජන මතයක් නිර්මාණය කිරීමට මෙකී ජනමාධ්‍යයන් කටයුතු කළ අතර ඉරාකය ආක්‍රමණය කිරීමේ ඇමරිකානු සැලසුම සාධාරණීකරණය කරන ලදි. තව ද මෙම යුධ තත්වයන් වාර්තා කිරීමේදී ද ඒකපාර්ශවීය මාධ්‍ය භාවිතයක් ඇමරිකානු හිතවාදී ජනමාධ්‍යයන් මඟින් ප්‍රකට කළ අතර විශේෂයෙන්ම යුද්ධය අතරතුර ඇමරිකානු ප්‍රහාර හේතුවෙන් මියගිය ළමුන් ඇතුළු සිවිල් වැසියන් පිළිබඳ තොරතුරු ද වසන් කරමින් ඇමරිකාවට වාසි සහගත ප්‍රවෘත්ති පමණක් ඉදිරිපත් කිරීම ද දැකිය හැකි විය.

එමෙන්ම ලෝකයේ ජනමාධ්‍ය කර්මාන්තය ඇතුළු ලෝකයේ සමස්ත තොරතුරු පද්ධතිය පාලනය කරමින් සිටිනු ලබන්නේ අතිදැවැන්ත සමාගම් හතක මඟින් වීම ද මෙම ඒකමානික තොරතුරු ප්‍රචාරණය සඳහා බලපා තිබේ. එනම් මෙම ලිපිය තුළ ඉදිරියේ දී සාකච්ඡා කිරීමට අපේක්ෂිත මාධ්‍ය අභිසාරිතාව නැමැති සංකල්පය මඟින් පැහැදිලි කළ හැකි එක් පුද්ගලයෙකුට හෝ එක් ආයතනයකට මාධ්‍ය ආයතන ගණනාවක හිමිකාරිත්වය හිමිවීම නැමැති සාධකය ඔස්සේ ධනවාදී රාජ්‍යයන්වල වාණිජ අරමුණු සාධනය කර ගැනීම පිණිස එකී මාධ්‍යයන් භාවිතයට ගැනේ. මෙවැනි එක් සමාගමක් සඳහා නිදසුනක් වශයෙන් රූපට් මර්ඩොක්ගේ News Corporation සමාගම පෙන්වා දිය හැකිය. එමඟින් The Times, The Sun වැනි පුවත්පත් සහ සඟරා විශාල ගණනක් ද Fox News Channel, National Geographic Channel ඇතුළු රූපවාහිනී නාලිකා ගණනාවක් මෙන්ම කේබල් නාලිකා, චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා රැසක්ද සිය හිමිකාරිත්වය යටතේ මෙහෙය වනු ලබයි. එමඟින් තනි පුද්ගලයෙකුට රටවල් ගණනාවක ජනතාවගේ සිතුම් පැතුම් කෙරෙහි බලපෑම් ඇති කිරීමට හැකියාව ලැබී තිබේ. මෙම තත්වය ගෝලීයකරණය නම් සංකල්පීය භාවිතය ඔස්සේ වඩාත් ගැඹුරින් අවබෝධ කරගත හැකිය.

ගෝලීයකරණය ලෙස හඳුනාගනු ලබන්නේ රාජ්‍යයන්වල දේශසීමා බන්ධන ලිහිල් වී යමින් සමස්ත ලෝකයම එකම භූගෝලීය කලාපයක් ලෙස හැසිරීමට පටන් ගැනීමයි. විශේෂයෙන්ම අංකිතකරණය (Digitalization) මඟින් තොරතුරු ව්‍යාප්තිය පුළුල් වීම සහ තොරතුරු තාක්ෂණය හෙවත් අන්තර්ජාලය ඔස්සේ එකම විද්‍යුත් රේඛාවක් වටා රොක්වී ලෝක වාසී ජනතාව පැය විසි හතර මුළුල්ලේ ට්‍රිලියන ගණනක දත්ත හුවමාරු කර ගනිමින් සිටියි. මෙම තත්වය මත ජාතිකත්වය නැමැති සංකල්පය වියැකී යමින් ගෝලීය ප්‍රජාවක් බිහිවීමේ පදනම නිර්මාණය කර ඇති අතර එනිසා විද්‍යුත් ක්‍රමවේද මඟින් මුදල් ගනුදෙනු සහ භාණ්ඩ හුවමාරුව සිදු කිරීම ද දැකිය හැකිවේ.

ගෝලීයකරණය පිළිබඳ සාකච්ඡාවේ දී ඒ සඳහා බලපෑ ප්‍රබල තාක්ෂණික සාධක ද්විත්වයක් කෙරෙහි අවධානය යොමු කළ හැකිවේ. එනම් අංකිතකරණය සහ අන්තර්ජාලයේ විශ්ව ව්‍යාප්තියයි. ඒ අතරින් අංකිතකරණය සැලකීමේ දී එමඟින් තොරතුරු සහ දත්ත හුවමාරුව වඩාත් පුළුල් සහ නම්‍යශීලි තත්වයකට පත් කර තිබේ. එනම් අංකිතකරණයට පෙර ලෝකය තුළ භාවිත වූ ප්‍රතිසම (Analog) ක්‍රමවේදය තුළ එක් එක් උපාංග අතර දත්ත හුවමාරු කර ගැනීම සඳහා පොදු ක්‍රමවේදයක් නොතිබුණු අතර එනිසාම තොරතුරු හුවමාරුව පැවතියේ ඉතා මන්දගාමී තත්වයකය. එහෙත් අංකිතකරණය සමඟ මෙම තත්වය උඩුයටිකුරු වූ අතර පරිගණකයේ සිට අත් ඔරලෝසුව සහ රූපවාහිනිය දක්වා එහි බලපෑම ලැබී තිබේ. එනිසා අංකිත භාෂාව අවබෝධ කර ගත හැකි සෑම උපාංගයක් අතරම එකම ස්වරූපයෙන් තොරතුරු ඉතා වේගවත්ව හුවමාරු කර ගැනීමට හැකියාව නිර්මාණය වී තිබේ.

අංකිතකරණයේ දී සෑම උපාංගයකටම තේරුම් ගත හැකි වන්නේ සංඥා වර්ග ද්විත්වයකි. එනම් 1 සහ 0 පමණි. ඒ අනුව අපගේ ඉන්ද්‍රියයන්ට ගෝචර වන සෑම දෙයක්ම එනම් රූප, ශබ්ද, වීඩියෝ දර්ශන, ගීත ආදී සෑම දෙයක්ම අංකිත උපාංග තුළ ගබඩා වී පවතින්නේ 1 සහ 0 සංඥාවලට පරිවර්තනය වීමෙනි. මෙය තවදුරටත් නිදසුනක් ඇසුරින් පැහැදිලි කරන්නේ නම් පරිගණකය තුළ අප යතුරුලියනය කරනු ලබන සෑම ඉංග්‍රීසි අක්‍ෂරයකටම 1 සහ 0 සංඥා මඟින් සකස් කරන ලද අපට නොතේරෙන එහෙත් අංකිත උපාංගවලට තේරුම් ගත හැකි ස්වරූපයක් තිබේ. එම ස්වරූපය සෑම අංකිත උපාංගයක් තුළම පොදුවේ භාවිතයට ගැනීම තුළ අප පරිගණකයෙන් යවන ලද විද්‍යුත් ලිපියක් වචනවල කිසිදු වෙනසකින් තොරව ජංගම දුරකථනය තුළත් වර්තමානයේ භාවිත වන අංකිත රූපවාහිනී තුළත් කියවීමට හැකියාව ලැබේ. එසේම මෙම තත්වයම ගීත සහ රූප යනාදිය අංකිත උපාංග අතර හුවමාරු කර ගැනීමේදී ද දැකිය හැකිවේ. එමඟින් සෑම ගීතයක්ම සහ සෑම රූපයක්ම අංකිත භාෂාවට පරිවර්තනය වී අංකිත උපකරණ තුළ ගබඩා වී අපට අවශ්‍ය අවස්ථාවක අපට තේරුම් ගත හැකි වන පරිදි ඉදිරිපත් කෙරේ. මෙසේ බලන කල අංකිතකරණය හුදු තාක්ෂණික ක්‍රියාවලියක් පමණක් නොව තාක්ෂණයේ සිදුවූ දැවැන්ත විප්ලවයකි. එනිසා මෙම අංකිත විප්ලවය ලෝකය තුළ සිදු වූ තෙවන (හෝ සිවුවන) කාර්මික විප්ලවය ආදී ලෙස ඇගයීමට ලක්වේ.

එසේ සලකන කල අංකිතකරණයේ මෙම ලක්ෂණ ගෝලීයකරණය වඩාත් ඉක්මන් කිරීමට දායක වී ඇති බව පැවසිය හැකිය. මන්ද යත් සමස්ත ලෝකවාසී ජනයා අංකිත උපාංග භාවිතයට හුරුවීම මඟින් දේශ සීමා සලකුණු බොඳවීම වැළැක්විය නොහැකි වී ඇති බැවිනි. මෙම අංකිත තාක්ෂණය සමඟ ඒකාත්මික වී සිටින තොරතුරු තාක්ෂණය හෙවත් අන්තර්ජාල මාධ්‍යය ගෝලීයකරණයේ ප්‍රමුඛතම සන්නිවේදන මාධ්‍යය බවට පත් වී තිබේ. විශේෂයෙන්ම අන්තර්ජාලය මඟින් උපත ලද සමාජ මාධ්‍ය සංකල්පය මෙන්ම විද්‍යුත් ලිපි හුවමාරුව, වාච්‍ය සහ දෘශ්‍ය ක්‍රමවේද මඟින් සිදුවන සංවාද ක්‍රමවේද මඟින් එකිනෙකා අතර තොරතුරු හුවමාරු කර ගැනීම අතිශය සරල තත්වයකට පත් වී තිබේ. එමඟින් නිර්මාණය වී ඇති ගෝලීය සමාජය තුළ ගෝලීය ආර්ථික ක්‍රමවේද සහ ගෝලීය සංස්කෘතියක වර්ධනය ඔස්සේ අද්‍යතන මානව සමාජය ක්‍රියාත්මක වේ.

මෙහි දී ගෝලීයකරණයේ බලපෑම තුළ නිර්මාණය වී ඇති ගෝලීය සංස්කෘතිය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී ආහාර සංස්කෘතියේ වෙනස්වීම් කෙරෙහි ගෝලීය ආහාර සංස්කෘතියේ සංලක්ෂ්‍ය ආරෝපණය වී ඇති බව පැවසිය හැකිය. එනම් මැක්ඩොනල්ඩ්කරණය ලෙස සංකල්පගත කරනු ලබන ආහාර සංස්කෘතිය සහ එයට බද්ධ වී ඇති කෝලා පාන සංස්කෘතිය මඟින් අප රට වැනි පරිධියේ රටවල ආහාර රටාවන් සඳහා එල්ල කරනු ලබන බලපෑම සුළු පටු නොවේ. එමඟින් දේශීය ආහාර රටාව තුළින් ජනතාව කෙමෙන් කෙමෙන් දුරස්තීකරණය කිරීම ඔස්සේ ශරීරයට අහිතකර විවිධ රසායන ද්‍රව්‍යයන් සහිත ආහාර පානවලට ජනතාව හුරු කිරීම සිදුවේ. විශේෂයෙන්ම ආර්ථික ලාභ අපේක්ෂාවෙන් බහු ජාතික සමාගම් මඟින් ගෝලීයකරණයේ ශක්‍යතාවන් අධිභාවිතයට ගනිමින් සිදු කරන මෙම ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය වන්නේ දේශීය ආර්ථිකය බිඳවැටීමට ලක්වීම සහ අවසාන වශයෙන් පිළිකා ආදී රෝගාබාධවලින් පෙළෙන ජනතාවක් රට තුළ නිර්මාණය වීමයි.

එසේම ගෝලීයකරණයේ බලපෑම ද සහිතව සමස්ත ලෝකයම වෙලාගෙන සිටින ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය සංකල්පීකරණය කිරීම සඳහා ජනමාධ්‍ය අභිසරණය (Media Convergence) නැමැති න්‍යාය භාවිතයට ගත හැකිය. ඒ අනුව පොදු අරමුණක් හෝ අභිලාශයක් ඉටු කර ගැනීම සඳහා එක්ව ක්‍රියා කිරීම අභිසාරිතාව ලෙස හඳුනාගත හැකිවේ (Webster’s Collegiate Dictionary, 2016). තව ද එක්ව පැමිණෙන විට එකිනෙකා හමුවන ස්ථානයේ දී අභිසාරිතාව සිදුවන බව ද පැවසිය හැකිය. එමෙන්ම මෙම අදහස වඩා පුළුල් අර්ථයෙන් මාධ්‍ය අභිසාරිතාව පැහැදිලි කිරීම සඳහා යොදා ගත හැකිය.

කෙසේ වුවත් මාධ්‍ය අභිසාරිතාව පිළිබඳ සංකල්පය පළමුව සංවර්ධනය වන්නේ මාධ්‍ය පදනම් කර ගනිමින් නොවේ. එනම් අභිසාරිතාව මාධ්‍ය නොවන අනෙකුත් කර්මාන්ත මඟින් යොදා ගනු ලැබුවේ මීට බොහෝ කාලයකට පෙරය (Morton, 2000). ඒ අනුව මාධ්‍ය අභිසාරිතාවයේ ආරම්භය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ප්‍රකාශ කළ හැක්කේ මෙහෙයුම් අභිසාරිතාව නව ක්‍රියාවලියක් නොවන බවයි (Colon, 2000).

මාධ්‍ය අභිසාරිතාවයේ විකාශනය හා වර්ධනය කෙරෙහි පරිගණක පදනම් කර ගනිමින් ඇතිවන තොරතුරු තාක්ෂණ ක්‍රියාවලිය සෘජුවම බලපෑම් කරනු ලැබේ. එනම් තොරතුරු තාක්ෂණ විප්ලවය සමඟ ඇතිවූ වෙළෙඳපොළ නිෂ්පාදන ක්‍රියාවලියක් ලෙස ද මාධ්‍ය අභිසාරිතාව හඳුනාගත හැකිය. මාධ්‍ය අභිසාරිතාව නැමැති යෙදුම ලොව පුරා ප්‍රචලිත වන්නේ Nichola Negropoute නම් විද්වතා නිසාය. ඔහු පවසන්නේ සන්නිවේදන තාක්ෂණය මඟින් එකිනෙකට වෙන්වෙන්ව පවතින කර්මාන්ත තුනක් අතිච්ඡාදනය වී මාධ්‍ය අභිසාරිතාව ගොඩනැඟෙන බවයි (Fidler, 1997). එය පහත ආකාරයට රූප සටහනකින් දැක්විය හැකිය.



තාක්ෂණික හා නීතිමය බාධාවන් ඉවත් වීම ඔස්සේ සාම්ප්‍රදායික මට්ටමෙන් ක්‍රියාත්මක වූ මාධ්‍යයන්වලට අන්තර්ජාලය නැමැති නව මාධ්‍යය තම මාධ්‍ය වෙත අත්පත් ගැනීමට අවස්ථාව සැලසුණි. එමඟින් මධ්‍යගත සන්නිවේදන ආකෘති (Mediated Communication Forms) පරිගණක උපයෝගී කර ගෙන ක්‍රියාත්මක වෙමින් විද්‍යුත් හා ඩිජිටල් ආකෘති ලෙස එක්ව ක්‍රියාත්මක වීම ආරම්භ විය (Blackman, 1998).

ජෙකින්ස් ප්‍රකාශ කරන පරිදි මාධ්‍ය අභිසාරිතාව ක්‍රියාවලි පහකින් සමන්විත වේ. එනම්,

(i). තාක්ෂණික අභිසාරිතාව
(ii). ආර්ථික අභිසාරිතාව
(iii). සමාජයීය හෝ ඓන්ද්‍රීය අභිසාරිතාව
(iv). සංස්කෘතිකමය අභිසාරිතාව
(v). ගෝලීය අභිසාරිතාව

යනුවෙනි (Jenkins, 2001). මෙම ප්‍රවර්ග කෙරෙහි වෙන්වෙන් වශයෙන් අධ්‍යයනයට ලක්කිරීම ඔස්සේ මාධ්‍ය අභිසාරිත්වය වඩාත් පුළුල් ප්‍රවේශයක් යටතේ අවබෝධ කර ගත හැකිවේ. ඒ ඔස්සේ තාක්ෂණික අභිසාරිතාව ලෙස හඳුනාගත හැකි වන්නේ සියලුම මාධ්‍ය අන්තර්ගතයන් අංකිතකරණය වීම නිසා රූප, ශබ්ද ආදී සෑම පඨිතයක්ම අංකිත තොරතුරු බවට පත්වීම මඟින් තොරතුරු විස්තාරණය පුළුල් වී තිබීමයි. මෙහි ආර්ථික අභිසාරිතාව යනු එක් ආයතනයක් මඟින් රූපවාහිනී නාලිකා, චිත්‍රපට නිෂ්පාදන සමාගම්, වෙබ් අඩවි වැනි කර්මාන්ත ගණනාවක හිමිකාරිත්වය දැරීම හා ඒවා පාලනය කිරීමයි. එසේම සමාජයීය හෝ ඓන්ද්‍රීය අභිසාරිතාව ලෙස හඳුනා ගත හැකි වන්නේ නව තොරතුරු පරිසරය හැසිරවීම සඳහා පාරිභෝගිකයා විසින් බහුකාර්ය උපක්‍රම අනුගමනය කිරීමයි. එමෙන්ම සංස්කෘතිකමය අභිසාරිතාවය වනුයේ නව ආකාරයේ නිර්මාණාත්මක ආකෘතිවලට විවිධාකාර මාධ්‍ය තාක්ෂණයන්, කර්මාන්ත සහ පාරිභෝගිකයින් අතිච්ඡාදනය කළ හැකි වීමේ ශක්‍යතාවයි. තව ද ගෝලීය අභිසාරිතාවය මඟින් සිදුවන්නේ ගෝලීය වශයෙන් මාධ්‍ය අන්තර්ගත සංසරණය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සංස්කෘතික දෙමුහුම්කරණයක් ඇති වීම ඔස්සේ “ගෝලීය ගම්මාන සංකල්පය” අත්විඳීමට හැකියාව ලැබීමයි.

මේ අනුව මාධ්‍ය අභිසාරිතාව නැමැති සංකල්පය පිළිබඳ ප්‍රවේශ ගණනාවක් ඔස්සේ අවධානයට යොමු කළ හැකිය. විශේෂයෙන්ම ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින මාධ්‍ය අභිසාරිතාවයේ ස්වභාවය සැලකීමේ දී ගෝලීය තොරතුරු ප්‍රවාහය දැවැන්ත සමාගම් හතක් විසින් පාලනය කිරීම තුළ බිලියන ගණනක් වන ලෝක වාසීන්ගේ අනාගත ඉරණම තීරණය වේ. ඒ ඔස්සේ අවවරප්‍රසාදිත සමාජ ස්ථර නියෝජනය කරනු බහුතරයකගේ සිතුම් පැතුම් අධිවරප්‍රසාදිත සුළුතරයක් මඟින් ධනවාදී අපේක්ෂා අනුව විචලනය කිරීම මාධ්‍ය අභිසාරිතාව ඔස්සේ උත්කර්ෂයට නැංවී ඇති නූතන ලෝකය හමුවේ පවතින දැවැන්තම අභියෝගයයි.

කෙසේ වුවත් මෙම මාධ්‍ය අභිසාරිතාව ඔස්සේ ද උත්කර්ෂයට නැංවී ඇති ගෝලීයකරණ සංකල්පය ඇමරිකානුකරණය හෝ යුරෝපියකරණය ලෙස අර්ථදැක්වීම හෝ තේරුම් ගැනීම නිවැරදි නොවේ. මන්ද යත් ඇමරිකාව හෝ යුරෝපය මෙම ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ ප්‍රබල භූමිකාවක් ඉටු කරනු ලැබුව ද අද වන විට ලෝකයේ අනෙකුත් සෑම රටක්ම පාහේ මෙම ගෝලීයකරණ ක්‍රියාවලියේ කොටස්කරුවන් බවට පත්ව සිටින නිසාවෙනි. එනම් නිදසුනක් ඇසුරෙන් පෙන්වා දිය හැකි වන්නේ අන්තර්ජාලය ඔස්සේ සෑම රටක්ම භාණ්ඩ මිලදී ගැනීම සහ හුවමාරුව සිදු කිරීම ආදිය ගෝලීයකරණයේ ප්‍රතිඵල නිසා ඇතිවූ තත්වයක් වන බවයි. ඒ අනුව සලකන කල අප රට ද ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ කිසියම් හෝ භූමිකාවක් ඉටු කරමින් සිටියි. එය වෙනත් ධනවාදී දැවැන්ත ආර්ථිකයන් හිමි රටවල් සමඟ ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව සලකන කල සැලකිය යුතු ප්‍රමාණයක දායකත්වයක් ලෙස සැලකීමට බොහෝ දෙනා උත්සුක නොවුණ ද එම තත්වය නොසලකා හැරිය හැකි තත්වයක් නොවේ. එබැවින් කේන්ද්‍රයේ රාජ්‍යයන් මෙන්ම පරිධියේ රාජ්‍යයන් ද මෙම ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ බැහැර කළ නොහැකි බලවේග වන බව පැවසිය හැකිය.

බොහෝ දෙනා මෙම ගෝලීයකරණ ක්‍රියාවලිය ඇමරිකානු හෝ යුරෝපීය ක්‍රියාවලියක් ලෙස වරදවා වටහා ගැනීමට හේතුව ද මෙහි දී සඳහන් කිරීම වැදගත්ය. එනම් අප රට වැනි පරිධියේ රාජ්‍යයන් ගෝලීයකරණය ලෙස අත්විඳිනු ලබන්නේ ඇමරිකාව හෝ යුරෝපීය රාජ්‍යයන්වලින් ලෝකයට මුදා හරිනු ලබන තාක්ෂණික භාවිතයන් සහ ආහාර සංස්කෘතිය ඇතුළු විවිධ සංස්කෘතික කාරණා වීම එයට හේතුවයි. මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ආහාර සංස්කෘතියට කෝලා බීම සංස්කෘතිය ආදේශ වීම ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ සිදුවන්නේ ඇමරිකාවේ මැදිහත්වීමෙනි. එසේම ගෝලීයකරණ ක්‍රියාවලිය විශ්ව ව්‍යාප්ත වීමේ ගාමක බලවේගය බවට පත්ව තිබෙන අංකිතකරණය ඇතුළු තාක්ෂණික ක්‍රමවේද සහ උපාංගයන් ද ලෝකයට මුදා හරිනු ලබන්නේ යුරෝපීය රාජ්‍යයන්ගේ මැදිහත්වීමෙනි. එනිසා ඇතැමුන් මෙම ගෝලීයකරණ ක්‍රියාවලිය ඇමරිකානු හෝ යුරෝපීය රාජ්‍යයන් මඟින් අනුගමනය කරනු ලබන නව යටත්විජිතවාදයේ මෙවලම ලෙස අර්ථ දක්වනු ලබන අතර එම තර්කය ද එකහෙලාම බැහැර කළ නොහැකිය. එහෙත් සංකල්පීයව සහ ප්‍රායෝගිකව සැලකීමේ දී ගෝලීයකරණ ක්‍රියාවලිය සෑම රටක් තුළම ක්‍රියාත්මක වන බව පැවසිය හැකි වුවත් එම ක්‍රියාවලිය මෙහෙය වීමේ යම්කිසි අධිකාරී බලයක් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් මඟින් උසුලනු ලබන බව පැවසිය යුතු වේ. එසේ වුව ද වර්තමානයේ දී චීනය ගෝලීය ආර්ථිකය තුළ ඇමරිකාව අභිබවා පෙරට පැමිණීම තුළ ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන්වලට හිමි අධිකාරිය ඔවුන් වෙතින් ගිලිහී යාමට ඉඩ ඇති බව ද අප අමතක නොකළ යුතුය.

මෙහි දී අවසාන වශයෙන් ඉහත කරුණුවලට අදාළව තර්ක දෙකක් ඉදිරිපත් කළ හැකිය. එනම් බටහිර ජනමාධ්‍යයන්වල ක්‍රියාකාරීත්වයට නතු නොවී සිටීමට අපට හැකියාවක් තිබේ ද යන්න සහ ගෝලීයකරණ ක්‍රියාවලියෙන් වියුක්තව කටයුතු කිරීමට අපට හැකියාවක් තිබේ ද යන්නයි. කෙසේ වුවත් මෙම ප්‍රශ්න ද්විත්වය සඳහා යම් තරමකට හෝ පිළිතුරු සපයා ගත් රාජ්‍යයන් ද්විත්වයක් පිළිබඳව මෙහි දී පෙන්වා දිය හැකිය. එනම් රුසියාව සහ කියුබාවයි. මෙම රාජ්‍යයන් ද්විත්වයම සලකන කල සමාජවාදී ආර්ථික ක්‍රමවේද මූලික කරගනිමින් ක්‍රියාත්මක වූ රාජ්‍යයන් වන අතර එනිසා ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් හා සැසඳීමේ දී මෙම රාජ්‍යයන්වල විවිධ ක්ෂේත්‍ර කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කරගෙන තිබේ. ඒ සඳහා නිදසුනක් වන්නේ කියුබානු රාජ්‍යයේ වෛද්‍ය සේවය ඉතා ඉහළ මට්ටමක පැවතීමයි. එසේම ආර්ථික වර්ධනය, තාක්ෂණික කාර්යයන් ආදිය සැලකීමේ දී රුසියාව ද ලෝකය තුළ කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කරගෙන තිබේ. ඊට පෙන්වා දිය හැකි නිදසුනක් නම් ලොව ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාව ස්පුට්නික් වන් නමින් 1957 වර්ෂයේ දී රුසියාව විසින් අභ්‍යවකාශ ගත කිරීමයි.

එහෙත් වර්තමාන තත්වය තුළ කිසිදු රටකට රුසියාව සහ කියුබාව අනුගමනය කළ ආකාරයට ක්‍රියා කළ හැකිවේද යන්න ප්‍රශ්නාර්ථයකි. විශේෂයෙන්ම තුන්වන ලෝකයේ රාජ්‍යයක් ලෙස සැලකෙන අප රට වැනි පරිධියේ රාජ්‍යයන්ට කිසිසේත් බටහිර ජනමාධ්‍යයන්ගෙන් හෝ ගෝලීයකරණයෙන් මිදී කටයුතු කළ නොහැකි වේ. ඒ සඳහා එක් හේතුවක් වන්නේ විශේෂයෙන්ම අප රට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ලෝක මට්ටමේ මුල්‍ය සමාගම් සමඟ ගිවිසුම්ගතව ණය මුදල් ලබාගෙන තිබීමයි. තව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන මඟින් මෙරට විවිධ ව්‍යාපෘති කිරීම සඳහා ණය ආධාර ලබා දීම තුළ ද අප රටට ගෝලීයකරණ ක්‍රියාවලියෙන් වියුක්තව කටයුතු කිරීමට ඇති අවස්ථා අහිමි කර තිබේ. එමෙන්ම ඇමරිකාව ප්‍රමුඛ යුරෝපීය රාජ්‍යයන්වල න්‍යායපත්‍ර අනුව ක්‍රියාත්මක වන බටහිර ජනමාධ්‍ය ක්‍රියාවලිය තුළ විශේෂයෙන්ම අන්තර්ජාලය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වන ෆේස්බුක් වැනි වෙබ් අඩවි භාවිත කිරීමට අප රටේ තරුණ ප්‍රජාව බහුල වශයෙන් යොමු වී සිටීම තුළ ද මෙම තත්වය නොවැළැක්විය හැකි වී තිබේ. එහෙත් චීනය වැනි රටවල් ෆේස්බුක් හා ගූගල් වැනි ඇමෙරිකානු වෙබ් අඩවි භාවිතය සිය රට තුළ තහනම් කොට ඇති අතර ඒ වෙනුවට ඔවුන් විසින්ම පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි භාවිතයට අවස්ථාව ලබා දී තිබේ. ඒ අනුව ෆේස්බුක් වෙනුවට QQ නැමැති සමාජ මාධ්‍ය වෙබ් අඩවිය සග ගූගල් වෙනුවට බයිදු නැමැති වෙබ් අඩවියත් චීනය තුළ භාවිත වේ. ඊට අමතරව ඇමරිකානු GPS චන්ද්‍රිකා පද්ධතිය භාවිත කිරීම වෙනුවට චීනය විසින්ම තනා ගන්නා ලබා GPS චන්ද්‍රිකා පද්ධතියක් භාවිත කිරීමට කටයුතු කරමින් සිටියි.

එහෙත් රුසියාව, කියුබාව සහ චීනය වැනි රාජ්‍යයන් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග අප රට තුළ අනුගමනය කිරීමට රටක් සහ ජාතියක් වශයෙන් ස්ථාවර ආර්ථිකයක්, බටහිරට ගැති නොවූ දේශපාලන ප්‍රතිපත්තියක්, ස්වයං පෝෂිත ආර්ථික රටාවක් ඇතුළු සාධක ගණනාවක් සම්පූර්ණ වීම අත්‍යාවශ්‍ය වේ. එහෙත් තවමත් බටහිර ඇතුළු වෙනත් රාජ්‍යයන් විසින් දිගු කරනු ලබන ණය ආධාර කෙරෙහි දෙනෙත් දල්වා බලා හිඳින දේශපාලන සහ ආර්ථික ක්‍රමවේදයක් තුළ බටහිර ජනමාධ්‍ය සහ ගෝලීයකරණ ක්‍රියාවලියෙන් වියුක්තව කටයුතු කළ නොහැකි බව අවසාන වශයෙන් අවධාරණය කළ යුතුය.




මෙම ලිපිය සහිත Wikipedia සිංහල විශ්වකෝෂයේ සබැඳිය: https://si.wikipedia.org/wiki/බටහිර_ජනමාධ්‍ය_සහ_ගෝලීය_සමාජය



සටහන - සුරෝෂන ඉරංග




















Previous
Next Post »