සුජාතක නිදහස් අධ්‍යාපනයේ,අවජාතක වූ ශිෂ්‍ය පරම්පරාව!


මේ දිනවල අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු 'ලහිරු වීරසේකර' සොයුරාව අත් අඩංගුවට ගෙන නඩු පැවරීම සම්බන්ධයෙන් සමාජය තුළ පුළුල් කථිකාවක් ගොඩ නැගෙමින් පවතී.

එහි ඇති සාධාරණ සහ අසාධාරණ බව යුක්ති යුක්ත කිරීමෙන් ඔබ්බට ගොස් අපේ මේ උත්සාහය වර්තමාන 'ලාංකේය නිදහස් අධ්‍යාපන භූමිකාව' දෙස යම් සමාජ විද්‍යාත්මක විවරණයක් සිදු කිරීමටය.ඒ සදහා මා පෙළඹවූයේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ සවස් වරුවේ කොළඹ පදනම් ආයතනයේ 'ඩිජිටල් ෆිල්ම් ඇකඩමි' සහෝදරත්වය විසින් සංවිධානය කරන ලද ලාංකේය දේශපාලනයේ දාර්ශනික සහ ඉතිහාසමය පැතිකඩ සංවාදයට සහභාගි වීමෙන් ලැබූ අත්දැකීම් සමුදායයි.
මෙම අවස්ථාවට ප්‍රධාන සම්පත් දායකයා ලෙස සහභාගි වූයේ මහාචාර්ය ජයදේව උයන්ගොඩයන්ය.සෙසු සම්පත් දායකයින් ලෙස ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි,ආචාර්ය කළණ සේනාරත්න සහභාගි විය.සංවාදය මෙහෙයවීම සුගත් මහදිවුල්වැව කථිකාචාර්යවරයා සිදු කළේය.අදහස් දක්වන්නන් ලෙස කෞෂාල්ය කුමාරසිංහ සහ භූපති නලින් සංවාද සභාව සක්‍රීය කරවීය.

මහාචාර්ය ජයදේව උයන්ගොඩ සදහන් කළේ වර්තමාන ලාංකේය විශ්වවිද්‍යාල තුළින් නව දැනුම නිෂ්පාදනය වන්නේ නැති බව කණගාටුවෙන් සදහන් කරන්නට සිදු වන බවයි.X කණ්ඩායම වැනි විශ්වවිද්‍යාලයෙන් බාහිර කණ්ඩායම් විසින් පමණක් නව දැනුම නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරන බවයි.ඊට හොදම නිදසුනක් ලෙස මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දුන්නේ තමන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය වරයෙකු ලෙස වැඩ භාර ගෙන 'පර්යේෂණ මූලධර්ම' විෂය ඉගැන්වීම සිදු කරන අවධියේ කලින් සකස් කර තිබූ විෂය මාලාව තුළ පර්යේෂණ මූලධර්ම විෂයට ඉගැන්වීම් සිදු කර ඇත්තේ සංඛ්‍යානය සහ පරිගණක සැකසුම්වේදය යන විෂය කරුණු යොදා ගෙනයි.එහි දුර්වලතාවය හදුනා ගත් තමන් වහාම විෂය දාර්ශනික පැතිකඩකින් පරිවර්තනයට පියවර ගත් බව මහාචාර්ය උයන්ගොඩ මෙහිදී පැහැදිලි කළේය.අද වන විට 'සංඥාර්ථවේදය' සහ ප්‍රපංචවේදී විෂය කාරණාවන් අඩුම තරමේ නවක විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්වත් දැනුවත් නැති වීම ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ දුබලතාවයකි.එමෙන්ම නිර්මාල් රංජිත් ආචාර්යවරයා සදහන් කර සිටියේ 'දෛලෙක්තිකය' යන වදන හෝ නොදන්නා විශ්වවිද්‍යාල ශිෂ්‍ය පරම්පරාවක් අද බිහිව ඇති බවයි.

කාල් කොපර්ගේ 'කොපේරියානු දාර්ශනික පැතිකඩ' පිළිබදව එවකට නව සම සමාජ පක්ෂයේ ශිෂ්‍ය නායකකාරකාදීන්ගෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ප්‍රශ්න නැගූ එවකට ශිෂ්‍ය වර්තමාන මහාචාර්ය නලින්ද සිල්වා මහතා පසුව තමන් විසින් ගවේෂණය කරමින් බෞද්ධ දර්ශනය හදාරමින් 1980 දශකය වන විට 'ජාතික මතවාදී දර්ශනය' දැනුමෙන් ශ්‍රී ලංකාව පෝෂණය කරන්නට සමත් විය.නමුත්,වර්තමාන විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් තුළ අඩුම තරමේ තම ශිෂ්‍ය නායකත්වය ප්‍රශ්න කිරීමටවත් දැනුමක් නොමැති වීම අතිශය කණගාටුදායකය.යන්න එදින සාකච්ඡා වූ කරුණ විය.

එදින සංවාදය බදුන් වූ කරුණු තුළින් සහ වර්තමාන නිදහස් අධ්‍යාපනය තුළින් බිහි වන ගිරා පෝතක ශිෂ්‍ය පරම්පරාව අනාගතය සහ ශ්‍රී ලංකාවේ අනාගතය අතිශයින්ම අදුරු කරන බව නම් කිව යුතුය.ශිෂ්‍ය ව්‍යාපාර පැවතිය යුතුය.එහෙත් ශිෂ්‍ය ව්‍යාපාරයට විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ උපාධිය කළට වේලාවට ලබා ගැනීමට සහ නව දැනුම උත්පාදනය කරවීමට විශේෂ වැඩ සැළැස්මක් තිබිය යුතුය.නමුත්,වර්තමාන ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය අවුරුද්ද මුලදීම කැලන්ඩරයේ උද්ඝෝෂණ සටන් සිදු කර යුතු දින සටහන් කරමින් අවුරුද්ද අරඹයි.වසරේ උද්ඝෝෂණ මෙහෙයවිය යුතු කාලය පෙර සැලසුම් කර හැකිද?එසේ සිදු වන්නේ යම් කිසි දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක වුවමනාවට බව ඉතාම පැහැදිලිව දැක ගත හැකිය.

විප්ලව කිරීමට පෙර දැනුමෙන් සංනද්ධ විය යුතු බව වර්තමානයේ ශිෂ්‍ය ක්‍රියාකාරකයින්ට අමතක වී තිබීම මහා කේදවාචකයකි.කන්නංගර චින්තනයෙන් බිහි විය යුත්තේ සුජාත දරුවන් මිස අවජාතක දේශපාලන පක්ෂ වල අවජාතක අතකොළු වූ දරුවන් නොවේ.....


ඉෂාර ලක්මිණ.

Previous
Next Post »