ලොක්කෙක් වෙන්න ටයි එකක් දාන්න ඕනද?


-කැලුම් වැලිගම

ලොක්කෙක් කියන්නේ කවුද? සාමාන්‍යයෙන් ලොක්කා නිරූපණය කරන්නේ ලොක්කන්ගේ වැඩවලටත් වඩා ලොක්කා භාවිත කරන වාහනයෙන්. නැත්නම් ලොක්කා භාවිත කරන ජංගම දුරකතනයේ වර්ගයෙන්. එහෙමත් නැත්නම් ලොක්කා අඳින ඇඳුමේ සන්නමෙන්. විශේෂයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශය තුළ ලොක්කා කොටු කරලා ලොකු කරලා පෙන්වන එක ස්වභාවයක්. නමුත් ක්‍රම ක්‍රමයෙන් දැන් ලොක්කා ඉන්න ඕන විදිහ සහ ඉන්න තැන වෙනස් වෙමින් යනවා. මෑත දවසකදී මට කිසියම් දේශනයකට එක්තරා ආයතන ප්‍රධානියෙක් කතා කළා. ඉතින් මම යන්න සූදානම් වුණා. ඔහු මගෙන් මෙහෙමත් ඇහුවා.

'කැලුම් මහත්තයා ඔයා ටයි එහෙම දාලා නේද එන්නේ. මොකද අපේ කම්පනි එකේ එහෙමයි.' ඇත්තටම මම මේක කිව්වේ ඔහු මට කළ ඉල්ලීම අවතක්සේරු කරන්න නෙවෙයි. ඔහු මගේ හිතවතෙක්. දේශකයෙක් ටයි කෝට් දාන්න ඕනෑ. ලේඛකයෙක් රැවුල සහ කොණ්ඩේ වවලා ඉන්න ඕනෑ. දේශපාලනඥයෙක් නම් කිරි කොකා වගේ ජාතික ඇඳුම ඇඳලා ඉන්න ඕනෑ. ගුරුවරියන් ගෙදරටත් සාරි ඇඳලා ඉන්න ඕන. මෙන්න මේ වගේ ප්‍රතිරූප සමාජයේ තියෙනවා. එම නිසා ටී ෂර්ට් එකක් ඇඳලා සමාගමක ප්‍රධානියෙක් කාර්යාලයට ආවොත් ලොකු ප්‍රශ්නයක් සහ කසුකුසුවක් ඇතිවෙනවා.

සැබැවින්ම අද අපි ඉන්නේ වෙනස් ලෝකයක. ඔබට ප්‍රධානියෙක් වෙන්න ටයි එකක් දාන්න ඕනෑ නැහැ. එසේම නායකයෙක් වගේ වැඩ කරන්න තනතුරක් අවශ්‍යත් නැහැ. එම නිසාම තමයි රොබින් ෂර්මා නම් පුද්ගල සංවර්ධන දේශකයා තනතුරක් නැති නායකයෙක් වෙන්න කියලා කියන්නේ. මෑතකදි ෆේස්බුක් ව්‍යාපාරයේ හිමිකරු මාර්ක් සකර්බර්ග් අන්තර්ජාලයට ඔහුගේ ප්‍රධාන කාර්යාලයේ වීඩියෝවක් නිකුත් කළා. ෆේස්බුක් කාර්යාලය මොනවගේද කියලා දැනගන්න කවුරුත් ආසයිනේ. සැබැවින්ම එම කාර්යාලය, කාර්යාල කොටු කරලා කාර්යාලය තුළ පන්තිභේද රැසක් ඇති කරන්න උත්සාහ දරන අයට ලොකු ආදර්ශයක්.
'මේක තමයි ෆේස්බුක් ප්‍රධාන කාර්යාලය. අපි මෙම නව ප්‍රධාන කාර්යාලයට ඇවිත් මාස දෙකක් විතර වෙනවා. මෙහි ඇති විශේෂත්වය නම් මෙතැන ඉතාම විවෘතයි. මෙහි අරමුණ එකිනෙකාට සමීපව සහ විවෘතව වැඩ කරන්න කාටත් අවස්ථාව සැලැසීම. වැඩ කරන සෑම කෙනෙක්ටම තැනක් තියෙනවා. නමුත් වෙන් වෙන් කාමර කාටවත් නැහැ' මාර්ක් කියනවා.

මාර්ක් සියලුදෙනාටම ෆේස්බුක් ප්‍රධාන කාර්යාලය පෙන්නුවා. වැඩ කරන අයට විවෘතව ඉන්න දීලා ලොක්කෝ ලොකු ලොකු කාමරවල වෙන වෙනම ඇති. එහෙම සාධාරණ සැකයක් කෙනෙක් තුළ ඇති වෙන්න පුළුවන්. එම නිසාමදෝ මාර්ක් ඔහුගේ මේසය තියෙන තැනත් පෙන්නුවා.
'මෙතැන තමයි මම වැඩ කරන්නේ.' එය සාමාන්‍ය මේසයක්. ඊට එහා පැත්තෙන් තවත් මේස තියෙනවා. ඔහුගේ මේසය මත ඇපල් ලැප්ටොප් පරිගණකයක් සහ ඊට දෙපසින් පොත් කිහිපයක් තියෙනවා. එසේම එහි ඉදිරිපිට ෆේස්බුක් වෙළෙඳ ලකුණ තියෙනවා. එය ඉතාම සරලයි. හරියට පියන් කෙනෙක්ගේ මේසයක් වගේ.

'ආහ් මේ දෙපැත්තෙන් තියෙන්නේ මම මේ දවස්වල කියවන පොත්. අපේ සමාගමේ හැමෝටම තියෙන්නේ එක වගේ මේස සහ ඉඩක්.'

එසේම ඔහු ඊළඟට පෙන්නුවේ වැදගත් රැස්වීම් තිබෙන කාමරය. රැස්වීම් පවත්වද්දී පිටත ශබ්ද බාධාවක් වෙන නිසා එය පමණක් වීදුරු බිත්තිවලින් වට කරලා තියෙනවා.

ඔහු අදත් ලොව ඕනෑම සම්මන්ත්‍රණයකට යද්දි අඳින්නේ අළු පාට අත්කොට ටී ෂර්ට් එක සහ නිල් ඩෙනිම් කලිසම. මෙය ඇපල් සම නිර්මාතෘ ස්ටිව් ජොබ්ස්ගෙන් ලද පෙලඹවීම වෙන්න පුළුවන්. මාර්ක්ගේ කතාව අපි නිතර නිතර කියලා තියෙන නිසා මම එය ගැන මෙහි විශේෂයෙන් පවසන්නේ නැහැ. ඔහු පිළිබඳ කතාව මා 2014 වසරේදී රචනා කළ 'මහමොළකාරයෝ' නම් කෘතියේ පවා ඇතුළත් කළා. නමුත් ඉතාම කෙටියෙන් පවසනවා නම්, ඔහුගේ වයස දැන් අවුරුදු 31යි. ඔහු ෆොර්බ්ස් වර්ගීකරණ අනුව ලොව ධනවත්ම මිනිසුන්ගේ ලැයිස්තුවේ 16 වැනි තැනද, ලොව බලවත්ම මිනිසුන්ගේ ලැයිස්තුවේ 19 වැනි තැනද, වයස අවුරුදු 40ට අඩු ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක එකටද ඉන්නවා. ඔහුගේ ධනයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 47.1යි. එය ශ්‍රී ලංකා රුපියල්වලින් නම් රුපියල් බිලියන 6,829. එය කෝටිවලින් නම් කෝටි 6,82,950ක්. (ඩොලරයක අගය රු. 145ක් ලෙස සලකා)

මම එය ඔබට පෙන්නුවේ ඔහුගේ ධනයේ සහ බලයේ තරම පෙන්වන්නයි. විභාගයට වැඩිම ලකුණු රැගෙන ලොව හොඳම සරසවියක් වන හාවර්ඩ් සරසවියට ඇතුළු වෙලා. ඔහු එම සරසවි ගමන අතරමඟ නවත්වන්නේ ජීවන සරසවියේ ඔහුට ඉක්මනින් ඉදිරියට යන්න ලෙහෙසි බව දැනගන්න නිසයි. අදත් මේසේ දෙපැත්තේ පොත් තියාගෙන ඉන්නේ ඒකයි. ඉතින් ඔබගේ ප්‍රධානියාගේ මේසය උඩ ඩයරිය සහ සටහන් පොතට අමතරව පොතක් තියෙනවාද බලන්න. මාර්ක්ගේ මෙම ආදර්ශය ධනයෙන් සන්දර්ශන පෙන්වන මිනිසුන්ගේ අවධානයට ලක්විය යුතුයි. සැබෑ ධනය යනු කුමක්ද කියන කාරණයට අදාළව මා ලියූ ලිපියක් 'මව්බිම' මාර්තු 6 වැනි ඉරිදා සංග්‍රහයේදී ඔබට කියවන්න ලැබෙයි.

ඉතින් මාර්ක් අපිට මෙහෙම කියනවා. සැබැවින්ම සාර්ථක මිනිස්සු තුළ ප්‍රධාන ලක්ෂණ 2ක් තියෙනවා. 1. සිනහව 2. නිශ්ශබ්ද බව.

බොස් කෙනෙක් වෙන්න තඩි බඩක්, වීදුරු කාමරයක්, රතු පාට ටයි එකක්, නිල් පාට පුටුවක්ම අවශ්‍ය නෑ. ඉතා වැදගත් වෙන්නේ කියනදේ ආදර්ශයෙන්ම කරන නායකයෙක් වීමයි. කෝටි ලක්ෂ හැට අටකට උරුම කියන මාර්ක්ට සේවක සේවිකාවන් කතා කරන්නේ මාර්ක් කියන සරල නමින්. ඔහුට සර් ලෙස කතා කිරීම ඔහු අකැමැති දෙයක්. එසේම ඔහුගේ ප්‍රතිඥාව වන්නේ තම සමස්ත ධනයෙන් 90කට වැඩි ප්‍රමාණයක් මිය යන්න පෙර සමාජයට ලබා දීමටයි. ඔහු ඒ වෙනුවෙන් දැනටමත් වැඩසටහන් පටන් ගෙන තියෙනවා.

බොස් වගේ රඟපාන අයටත්, සැබෑ බොස් කෙනෙක් වෙන්න හිතන අයටත් මාර්ක් කියන්නේ සැබෑ ආදර්ශයක්. ජීවිතය කියන්නේ රඟපෑම නෙවෙයි. ලොවට දැනෙන යමක් කිරීමයි.

Previous
Next Post »