සුළු වැරැද්දක් වුව වහා නිවැරදි කරන ‘ශ්‍රේෂ්ඨ‘ පේරාදෙණි තක්සලාවේ මානව මානවිකාවන්ට ඉදිරි වැඩ සදහා යෝජනා කිහිපයක්!


පේරාදෙණියේ ශ්‍රේෂ්ඨ දූ පුතුන් යළි වැඩක් දී ඇත. 2000 දී ‘අලයින්ට වල තහනම්‘ කියා කංචුකා ධර්මසිරි කළ ‘දෙයියෝ‘ නාට්ටියට ඇට්ටි හැලෙන්න හූ කියා ගල් මුල් හා මුත්‍රා බෑග්වලින් සංග්‍ර‍හ කළ මෙහොතේ එය භූක්ති විද ‘සත්‍ය තේරුම් ගත්‘ අයෙකු ලෙස මේ මොහොතේ ඒ ‘ශ්‍රේෂ්ඨ‘ පරපුරේ වත්මන් පිරිසට එල්ල වන ‘කලාව නොදන්නා‘ සහ ‘වලේ ශූද්ධත්වය‘ නොදන්නා ‘පිස්සන්ගේ‘ ප්‍ර‍හාරවලට එරෙහිව මා සිට ගන්නා අතරම ඔවුන්ගේ ඉදිරි වැඩ සදහා යෝජනා කිහිපයක් ද පහත ලියා තබමි.

1. ශුද්ධ වල කෙළසන (සිප ගැනීම් ඇතුළත් ඒවාට අන්ත) ජරා නාට්‍යවලට වැඩක් දීම

අ) මනමෙ නැමති බිහිසුණු හා ශුද්ධ භූමි විරෝධී නාටකය - එය කොයිතරම් ජුගුප්සාජනක ද කියනවා නම් එහි ‘ප්‍රේමයෙන් මන රංජිත වේ‘ කියමින් ගී ගයාගෙන යද්දී මනමෙ නම් කුමරා කුමරියගේ ඇග වටා අත දමා වටේට යයි. ඒ මදිවාට එච්චර පෙමින් වෙලී ඉන්නා බව පෙන්වන කුමරිය කිසිම අවස්ථාවක පෙර දැක නොතිබූ කැලෑ වැද්දකුට සිය පෙම්වත් කුමරා මැරීම සදහා කඩුව ද දෙන්නේ ‘දිරියෙන් යුධ කළ ඔබ දුටු වේලේ... මොහොතින් සිත මා පිරුනයි ආලේ‘ කියමිනි. මෙහෙම වල් ගෑණුන්ගේ කතා එක්ක එන මුන්ගේ මේ නාඩගම යළි වලට ආ දවසට අප වැඩේ දිය යුතුම වන්නේ ශුද්ධ වල රැකගත යුතුම හෙයිනි. (එදාට අපට අපේ ශ්‍රේෂ්ඨ සරච්චන්ද්‍ර උතුමාට කෘතගුණ සැලකූ බව දැනී යනු නොඅනුමාන ය!)

ආ) ඒත්, මීටත් වඩා වැඩේ දිය යුතු ඒවා තිබේ. හොදම එක නං සිංහබාහු නම් අවලම් නාඩගම ය. එය සත්වයින් සමග සංසර්ගයේ යෙදුණු කතාවක් වේදිකාවක අමුවෙන්ම ඇද බෑමකි. පිරිමියෙක් සිංහ ධේනුවකට මොකක් හරි කරලා නං සමාව දෙන්න පුළුවන් වුණත් මේ ඒකේ අනිත් පැත්ත නිසා මුන්ට දිය යුත්තේ මූත්‍රාවලින් නොව අශූචි වලිනි. (එදාට අපට අපේ ශ්‍රේෂ්ඨ සරච්චන්ද්‍ර උතුමාට කෘතගුණ සැලකූ බව දැනී යනු නොඅනුමාන ය!)

ඇ) නරි බෑණා නමින් තවත් එකක් ආයෙම අටවාගෙන රට වටා යයි. එහි නම ඇහුණු ගමන් වැඩේ පැහැදිලි ය. තමන්ගේ දුව නරියකුට දී රැයක් දෙකක් ගත කරන්නටත් ඉඩ හැර ඒ බලන්නට කදමලු බැදන් එන අම්මලා තාත්තලා වේදිකාවේ පෙන්නා ශුද්ධ වල කෙලසන්නට නං කොහොමත්ම ඉඩක් නැති බව අප පෙන්වා දිය යුත්තේ හැකි නම් නාට්‍ය පෙන්වන්න ආ විට ගොස් එහිම මළපහ කොට ඒවා අපේ අත්වලින්ම ගෙන දමා ඇරීමෙනි!! (එදාට අපට අපේ ශ්‍රේෂ්ඨ සරච්චන්ද්‍ර උතුමාට කෘතගුණ සැලකූ බව දැනී යනු නොඅනුමාන ය!)


තවත් බොහෝ නාට්‍ය මගේ මතකයට ආවත් දැනට මේ ටික ඇති කියා හිතෙන්නේ මේ දැන් කියන එක දෙකකට වඩා කිසි දෙයක් මතක තබා ගැනීමට තරම් වෙලාවක් නිරන්තර ස්ටඩි එකක ඉන්න උඹලාට නැති බව දන්නා නිසා ය.


උඹලාට ජය!
ශුද්ධ වලට ජය!!!



සටහන -  ප්‍රියන්ත ෆොන්සේකා


















Previous
Next Post »