~ දේශපාලනික ආදරය ! ආදරය!! ආදරය !!! ~(කසුන් මහේන්ද්‍ර හීනටිගල.)


ඉතිහාසයක් පුරා උන්නද - මලාද - කෑවද - බිව්වද - ෂෙල් ගැහුවද - කෙල්ලො සමූහ දූෂණේ කළාද - උන් තාමත් නොමැරී ජීවත් වෙනවද කියල හොයන්න බැරි වුණ ‘සහෝදර ජාතියක්’ ගැන දකුණ දැන් මාර ත්‍රිලකින් පිනා ගිහිං.

අවුරුදු ගාණක් රාජ්‍ය හමුදා බලපෑම මැද්දෙ කේන්ද්‍රගත වෙච්ච - තමන්ගෙ මළවුන් සිහි කරල එක ඉටිපන්දමක්වත් දල්වන්න ඉඩ නොදුන්න - ශ්‍රී ලංකා පොලීසිය ජාතිය උළුප්පගෙන දෙමළ කොල්ලන්ට කෙල්ලන්ට ගහනකොට ‘යාපනය සරසවිය දිහා’ හැරිලවත් බැලුවෙ නැති දකුණ දැන් මාර ත්‍රිලකින් පිනා ගිහිං..


මානව හිමිකම් කියන්නෙ මොනවද කියලවත් නොදැන - ජාතීන්ගේ අයිතීන් කියන්නෙ මොනවද කියලවත් නොදැන - පොල් වලයි තල් වලයි තියෙන හැංගිච්ච ආදරේ මොකක්ද කියල නොදැන - සිංහලයන්ට - ලංකාවට - මේ සුන්දර පරිසරයට බොක්කෙන්ම ආදරේ කරපු උතුරෙ ‘පුදුවෛ’ වගේ මානවවාදී කවියො හිටියද කියල නොදැන හිටපු දකුණ දැන් මාර ත්‍රිලකින් පිනා ගිහිං..

බොදු බල සේනාව සිව්වනක් පිරිස කැන්දන් ගිහිං ඉස්ලාම් ඔළුගෙඩි පලනකොට - ගෙවල් ගිනි තියනකොට - රට පුරා පසු කාලීනව ‘සිංහ ලේ’ කියල සත්ව මාකටින් ප්‍රොජෙක්ට් එකක් කරනකොට ඇස් පියාගෙන අනෙක් පැත්ත හැරිලා නිදාගත්ත දකුණ දැන් මාර ත්‍රිලකින් පිනා ගිහිං..

උතුර තියා අඩු තරමෙ දකුණෙ සරසවි වල සරසවි සිසුන්ගෙ ඔළු පලනකොට - ආඩම්බර තාත්තා මාතලන්ව ටොක්කව මරා දානකොට ගොළු වෙලා හිටපු දකුණම දැන් මාර ත්‍රිලකින් පිනා ගිහිං..

‘දේශපාලනික උත්තරයක්’ අතිශය අවශ්‍ය බිමකට ඒ උත්තර කෙළින් නොදුන්නම ‘ඉතිහාසගත වැරදි’ වෙන එක වළක්වන්න බැහැ.

‘යාපනය’ දිහා දේශපාලනික විදිහට බලන්න !

කළු ලේ එක්ක කිරිබත් කාපු දකුණ - බාලචන්ද්‍රන්ට බිස්කට් කවල වෙඩි තිබ්බ දකුණ - 1919 බොරු පොරොන්දු දුන්න දකුණ - යාපනේ පුස්තකාලෙට ගිනි තිබ්බ දකුණ - කරුණාකර හැමදේකින්ම ෆෝම් වෙන ‘ජාතිවාදී ත්‍රිල’ දැන්වත් බිමින් තියන්න.

මිනිස්සු අතරෙ හරි අවබෝධයක් නැති වුණාම වෙන ගැටලු වේවා , ‘ආත්ම ගරුත්වය’ බලහත්කාරෙන් නැති කළාම ඇති වෙන ගැටලු වේවා, ‘වෙස් නැටුම් සහ පොයික්කල් කුදිරෛ’ අතරෙ තියෙන සමානකම් නොදැනුණාම වෙන ගැටලු වේවා සියල්ල එකයි.

උත්තරය මෙච්චරයි.

දේශපාලනික ආදරය ! ආදරය ! ආදරය !


| කසුන් මහේන්ද්‍ර හීනටිගල

















Previous
Next Post »