පශ්චාත් යටත් විජිත ලිංගික සංස්කෘතිය තුළ ශ්‍රී ලංකාවේ සමාජ අර්බුද!

ශ්‍රී ලංකාවේ ලිංගික සංස්කෘතිය නැවත ප්‍රශ්නගත කළ යුතු සිදුවීම් දෙකක් පිළිබඳව පසුගිය දිනවල විවිධ මාධ්‍ය මඟින් දැනුවත් වන්නට අවස්ථාව ලැබුණි. ඉන් එක් සිදුවීමක් වන්නේ ෆේස්බුක් ඇතුළු අන්තරජාලයේ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වූ බැංකු වීඩියෝව නමින් ප්‍රසිද්ධ වූ සිදුවීමයි. එසේම මෙම ලිපියට පදනම් වූ අනෙක් සිදුවීම වන්නේ රූමත් රංගන ශිල්පිනියකට එක්තරා ඇඳුම් අලෙවිසැලක දී මුහුණපෑමට සිදුවූ බව පැවසෙන සිදුවීමයි. මෙම සිදුවීම් ද්විත්වය සැලකීමේ දී ඒවා සිදුවූ ආකාරය පමණක් එකිනෙකට වෙනස් වන නමුත් හරයාත්මක වශයෙන් සලකන කල මෙම සිදුවීම් ද්විත්වයම හඳුන්වා දිය හැකි වන්නේ ලාංකේය ලිංගික සංස්කෘතියේ එක්තරා වැදගත් පැතිකඩක් නිරූපණය කරනු ලබන සිදුවීම් ද්විත්වයක් වශයෙනි. එනම් අන්තර්ජාලයෙන් ලිංගික දර්ශන නැරඹීමේ සිට රාත්‍රියේ දී සරසවි සිසුවියන්ගේ නේවාසිකාගාර තුළට ඇතුල් වන පුද්ගලයින්ගේ මානසිකත්වය තෙක් මෙරට ලිංගික සංස්කෘතියේ අවවර්ධනය පිළිබඳ පුළුල්ව අවධානයට යොමු කළ යුතු තත්වයක් දිනෙන් දින වර්ධනය වෙමින් පවතින බව මාධ්‍ය මඟින් වාර්තා වන හෝ නොවන සිදුවීම් මඟින් අවබෝධ කර ගැනීම වැදගත්ය. මේ ඒ පිළිබඳ තබන සටහනකි.
පසුගිය දිනවල ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මඟින් අන්තර්ජාලය පුරා පැතිරී ගිය එක්තරා බැංකු සේවිකාවක් සහ සේවකයෙකු අතර ඔවුන්ගේ රැකියා ස්ථානයේදීම ලිංගිකව හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝව මෙරටේ  ලිංගික දර්ශන කෙරෙහි අන්තර්ජාලය තුළ පවත්නා අධික ඉල්ලුමේ ප්‍රමාණය පිළිබඳව සැපයිය හැකි මෑත කාලීනම නිදසුන බව පැවසිය හැකිය. මෙහි දී එම වීඩියෝව අන්තර්ජාලයට කවර හෝ අන්දමකින් නිකුත් කිරීමට කටයුතු කිරීම සහ එය ඉතා ඉක්මනින් අන් අය සමඟ හුවමාරු කර ගැනීමට පෙළඹීම මෙන්ම ඒ හේතුවෙන් එම බැංකු සේවකයින්ට සමාජය ඉදිරියේ මුහුණ පෑමට සිදුවූ අර්බුදකාරී තත්වයත් ලාංකේය ලිංගික සංස්කෘතියේම පැතිකඩක් වන බව ද අමතක නොකළ යුතුය. ඇතැමෙකුට මෙම සිදුවීම තවත් එක් සිදුවීමක් පමණක් වුවත් මාගේ අදහස අනුව නම් එය එසේ නොවේ. එනම් මෙරට සංස්කෘතිය තුළ වර්තමානය වන විට ලිංගික සම්බන්ධතා පිළිබඳව දක්වන්නා වූ ආකල්පය කිසිසේත් සුබවාදී ආකල්පයක් නොවීමත් එනිසාම සමාජ අර්බුද ගණනාවක් නිර්මාණය වී තිබීම පිළිබඳව සහ ඒ සඳහා යොමුවිය යුතු සාධනීය ප්‍රවේශයන් සම්බන්ධව මෙම සිදුවීමට හරයාත්මක සම්බන්ධතාවක් දක්වන රංගන ශිල්පිනියක් හා සම්බන්ධ අනෙක් සිදුවීම කෙරෙහි ද අවධානය යොමු කරමින් සාකච්ඡා කළ හැකිය.
එක්තරා රෙදි අලෙවි සැලකදී සිදුවූ බවට වාර්තා වන මෙම සිදුවීමට මුහුණ පෑ බව පැවසෙන්නේ මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක වන සුලේඛා ජයවර්ධන නම් රූමත් තරුණ නිළියයි. ඇය දෙහිවල ප්‍රදේශයේ පිහිටි එක්තරා රෙදි වෙළෙඳසැලකින් ඇඳුම් කිහිපයක් ගෙන එය තමාට ගැළපෙන්නේද යන්න පරික්ෂා කිරීම සඳහා එහි කුටියකට ගොස් ඇඳුම් මාරුකරමින් සිටින අවස්ථාවේ දී කිසියම් පුද්ගලයෙකු ජංගම දුරකතනයක් මඟින් එය රහසිහතව වීඩියෝ ගත කරන ඇය බව දැක තිබේ. එහිදී වහා ක්‍රියාත්මක වූ ඇය එම තැනැත්තා පොලිසියට භාර දීමට කටයුතු කර තිබේ. අදාළ තැනැත්තා එම වෙළෙඳසැලේ සේවකයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙක් වන බව පැවසේ.
ඒ අනුව බැංකු සේවකයින් දෙදෙනෙකුගේ ලිංගික හැසිරීමේ වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරීමේ සිදුවීම සහ සුලේඛාට සිදුවූ බව පැවසෙන මෙම සිදුවීම මඟිනුත් ප්‍රකාශ වන්නේ ලිංගික සාධක කෙරෙහි මෙරට සමාජය තුළ මුල් බැස ගෙන ඇති සංකල්පයන්හි ඓක්‍යය බව හඳුනා ගත යුතුය. විශේෂයෙන්ම මෙරට පවත්නා ලිංගික සංස්කෘතිය වන්නේ ආවෘත ලිංගික සංස්කෘතියයි. එනම් විවෘත නොවූ ලිංගික සංස්කෘතියක් ලාංකිකයන් වශයෙන් වර්තමානයේ දී අපට උරුම වී තිබේ. කෙසේ වුවත් එවැනි ආවෘත ලිංගික සංස්කෘතියක් වර්තමානයේ දී අප රටට උරුම වීමට හේතුව වන්නේ වසර දහස් ගණනාවක් පුරා අප විසින් රැකගෙන ආ ඓතිහාසික සාධක යැයි කිසිවෙකු විශ්වාස කරන්නේ නම් එම ප්‍රකාශයේ කිසිදු වලංගුභාවයක් නොමැති බව පැවසිය යුතුය. මන්ද යත් අතීත උරුමයන් මත පදනම්ව අප රටේ වර්තමාන ලිංගික සංස්කෘතිය සකස් වූවා නම් එය වඩාත් අභිමානවත් මෙන්ම ඒ පිළිබඳව යහපත් සමාජයීය ආකල්ප සහිතව වර්ධනය වූ සංස්කෘතියක් බවට පත්වේ. එහෙත් වර්තමානයේ දී එවැනි ආකාරයේ ලිංගික සංස්කෘතියක් අප රට තුළ දැකිය නොහැකි අතර ඒ වෙනුවට බටහිර  අධිරාජ්‍යකරණයෙන් වඳ භාවයට පත්වූ නිශේධනීය ලිංගික සංස්කෘතියක් අපට උරුම වී තිබේ. එම තත්වය මත ගොඩනැඟුණු අනෙකුත් සියලුම සමාජ සම්බන්ධතා තුළ විවිධ අර්බුද ගණනාවකට මුහුණ පෑමට සිදුවී ඇති බව පැවසීම වඩා සාධාරණය.
රාජ්‍යත්වයේ වර්ධනය සඳහා අසල්වැසි ඉන්දියාවෙන් අභාෂය ලද අපට එම රාජ්‍යත්වය තුළ වර්ධනය වූ එක් මූලික සාධකයක් වන ලිංගික සංස්කෘතිය නැමැති සාධකය කෙරෙහි අවධානය යොමු කළ හැකිය. එහි දී රජු විසින් අන්තඃපුර පවත්වාගෙන යාම සහ රටේ සියලුම කාන්තාවන් කෙරෙහි බලපෑම් කිරීමට රජු සතුවූ ඒකාධිකාරිය තුළ සමකාලීන ලිංගික සංස්කෘතිය ගොඩනැඟී තිබීම ඔස්සේ ලිංගික සම්බන්ධතා කෙරෙහි එකල සමාජය වර්තමාන සමාජයට වඩා යම්කිසි සාධනීය ආකල්පයකින් කටයුතු කළ බවට තර්ක කළ හැකිය. එසේම අතීතයේ දී මෙරට ගැමි සංස්කෘතිය තුළ දැකිය හැකි වූ “කුල්ල පේ කිරීම” නම් චාරිත්‍රය තුළ ද ලිංගික සම්බන්ධතා සඳහා ගෞරවනීයභාවයක් අත්කර  දුන් බව පැවසිය හැකිය. මෙම චාරිත්‍රය තුළ දී සිදුවූ බව පැවසෙන්නේ යම්කිසි නිවසක් තුළ අඹුසැමි යුවලක් ලිංගික කාර්යයන් වල නියැලෙන්නේ නම් නිවසට පැමිණෙන්නන්ට එය සංකේතවත් කිරීම සඳහා කුල්ලක් ප්‍රදර්ශනය කිරීමයි. එවිට එම සංඥාව අවබෝධ කර ගැනීමෙන් එම කාර්යයට බාධා නොකර සිටීමට කටයුතු කළ අතර එසේ සංඥා කිරීම ලිංගික කාර්යයේ නියැලෙන පාර්ශවය අපහසුතාවට පත් වන කරුණක් ලෙසින් නොසැලකීම ද අතීත සමාජය තුළ මෙම ලිංගික කාර්යයන්වලට හිමිවී තිබූ පිළිගැනීම සංකේතවත් කරයි. එහෙත් අතීතයේ පැවති මෙම අභිමානවත් ලිංගික සංස්කෘතිය වසර ගණනාවක් පුරා මෙරට ක්‍රියාත්මක වන අධිරාජ්‍යවාදීන්ගේ කටයුතු මඟින් අභාවයට ගමන් කරන අතර ඒ වෙනුවට අධිරාජ්‍යවාදීන් විසින් අපට උරුම කරන ලද ලිංගික සංස්කෘතිය අප රටේ පැවති ලිංගික සංස්කෘතියේ ඇතැම් ලක්ෂණ උකහා ගනිමින් ලිංගික සම්බන්ධතා පිළිබඳව නිශේධනීය ආකල්ප රැසක් ද සහිතව එකතරා දෙබිඩි ස්වරූපයකින් ක්‍රියාත්මක වෙමින් තිබේ. අප සමාජයට අන්තර්ජාලය සහ ජංගම දුරකතනවල ආගමනය සිදුවීමත් සමඟ  එම තත්වය වඩාත් උත්කර්ෂයට නැංවුණු අතර බැංකු වීඩියෝව මඟින් සහ සුලේඛාගේ සිදුවීම මඟින් නව යටත්විජිතවාදී යුගය තුළ අප මේ අත්විඳිමින් සිටින්නේ එම පශ්චාත් යටත්විජිතවාදී දෙබිඩි ලිංගික සංස්කෘතියේ උත්කර්ශයයි.
විශේෂයෙන්ම බටහිර අධිරාජ්‍යවාදයට අප රට නතුවීමත් සමඟ දේශීය ස්වභාවයෙන් පැවති සියලු දේ දෙමුහුන් ස්වරූපයට පත්විය. එනම් භාෂාව හා සංස්කෘතිය වැනි සාධක මෙම අධිරාජ්‍යකරණය තුළ ව්‍යාජ දේශීයත්වයක් ආරෝපණය කර ගනිමින් වර්ධනය විය. එම තත්වය තුළ දේශීය ලිංගික සංස්කෘතිය ද ව්‍යාජ දේශීයත්වයක් පෙන්නුම් කරමින් බටහිර සංස්කෘතිය අනුව වර්ධනය විය. මේ සඳහා වික්ටෝරියානු සුචරිතවාදී පිළිවෙත්වල පූර්ණ අනුග්‍රාහකත්වය හිමිවූ අතර එනිසාම මතුපිටින් පුහු සුචරිතවාදීන් ලෙස පෙන්වමින් කටයුතු කරන්නට මෙරට ජනයා හුරුවිය. එහෙත් අපට වසර දහස් ගණනක් පුරා උරුමව පැවතියේ එවැනි ව්‍යාජ සංස්කෘතියක් නොව අභිමානවත් හා අව්‍යාජ සංස්කෘතියකි. එම අව්‍යාජ සංස්කෘතිය වික්ටෝරියානු සුචරිතවාදය පදනම් කර ගනිමින් ව්‍යාජ සංස්කෘතිය විසින් අතික්‍රමණය කළ අතර කාලනුරූපව එය පශ්චාත් යටත්විජිත යුගයේදී ලිංගික සංස්කෘතික ලක්ෂණ සහිතව වර්ධනය විය.
මෙලෙස අප විසින් හඳුනාගනු ලබන මෙම පශ්චාත් යටත්විජිතවාදී ලිංගික සංස්කෘතිය හෙවත් පුහු සුචරිතවාදී ලිංගික සංස්කෘතිය තුළ දී සියලු ලිංගික සම්බන්ධතා සදාචාරය විසින් බැහැර කළ සාධක ලෙස ඉස්මතු වන්නට විය. එනිසා ව්‍යාජ සදාචාරවාදී ආකෘතිය තුළ ලිංගික කාර්යයන් යටපත් කරන්නට සිදුවුවත් එම යටපත් කිරීම තුළ ඒවා ප්‍රබල ලෙස වර්ධනය වූ බව කිව හැකිය. එම තත්වය තුළ ලිංගික අවශ්‍යතාවන් තෘප්ත කර ගැනීමේ විකල්ප ප්‍රවේශයෙක් ලෙස අන්තර්ජාල භාවිතය මෙරට සමාජය තුළ අධිභාවිතයට ලක්වේ.
මේ අනුව විශේෂයෙන්ම මෙරටේ තරුණියන්ගේ ලිංගික ක්‍රියාකාරකම් සහිත වීඩියෝ දර්ශන වෙත අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ වීම සහ ඒවා නැරඹීම එක්තරා උප සංස්කෘතියක් ලෙස වර්ධනය වේ. මෙම තත්වය විග්‍රහ කළ හැකි වන්නේ සැබෑ සමාජයේ දී සදාචාරය නැමැති බාධකය විසින් යටපත් කරනු ලබන හැඟීම් අන්තර්ජාලය මඟින් විකල්ප ලෙස තෘප්ත කර ගැනීමට කටයුතු කිරීමක් ලෙසය. මෙම තත්වය පශ්චාත් යටත්විජිතවාදී සමාජ ක්‍රමය මඟින් නිර්මාණය කළ විපරිත තත්වයක් වන අතර මානසික විකෘතිතාවක් ලෙස ද මෙම තත්වය හඳුනා ගැනීම වරදක් නොවේ.
මෙම මානසික විකෘතිතාව මෙම ලිපිය තුළ දී සාකච්ඡා කිරීමට උත්සාහ කරනු ලබන බැංකු වීඩියෝවට අදාළව සැලකීමේ දී ඔවුන් තම ලිංගික කාර්යය සඳහා තෝරාගනු ලබන ස්ථානය පවා සාමාන්‍ය ස්ථානයක් නොවන බව පැවසිය හැකිය. එනම් ඔවුන් සේවයේ යෙදෙන බැංකු පරිශ්‍රය තම තෘප්තිය සඳහා තෝරා ගනු ලබයි. එසේම ඔවුන්ගේ එම අතිපෞද්ගලික ලිංගික කාර්යය නැවත නරඹා තෘප්තියට පත්වීම පිණිස වීඩියෝගත කර ගනු ලබන පෙම්වතාගේ මානසිකත්වය ගොඩනැඟෙන්නේ ද පශ්චාත් යටත්විජිතවාදී දෙබිඩි ලිංගික සංස්කෘතියේ ආකල්පවල  ප්‍රතිඵලයක් වශයෙනි. එනම් බාහිර කුහක සුචරිතවාදී සමාජය තුළ තම සේවා ස්ථානය පවා නිදි යහනක් බවට පරිවර්තනය කර ගනිමින් කටයුතු කිරීම සහ එය පටිගත කර ගැනීම විපරිත ලිංගික සංස්කෘතිය තුළ විපරිත මානසිකත්වයක් ඔස්සේ සිදුවන ක්‍රියාකාරකමක් වේ. මෙසේ විපරිත ලිංගික සංස්කෘතියක් තුළ සිදුවන අසාමාන්‍ය ලිංගික චර්යාවන් රසවිඳීම සහ තමාට එම තෘප්තිය විඳ ගැනීමට නොහැකි වීම නිසා ඇතිවන කුහකත්වය හේතුවෙන් මෙම වීඩියෝ දර්ශනය තවත් පුද්ගලයකු විසින් අන්තර්ජාලයට මුදා හරිනු ලබයි. ඉන් අනතුරුව සමාජය තුළ විකෘති ලිංගික ආශාවන්ගෙන් අඩුවැඩි වශයෙන් පෙළෙමින් සිටිනා තැනැත්තන් විසින් මෙම වීඩියෝව කපුටන්ට මළකුණක් ලැබුණු පරිද්දෙන් කුණු රස විඳිමින් මුළු මහත් සමාජයම දුර්ගන්ධයට පත්වන ආකාරයෙන් එම විකෘති කාමාශාව රස විඳින අතර අවසානයේ සිදු වන්නේ එම ලිංගික ක්‍රියාවේ යෙදුණු පුද්ගලයින්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට පවා සමාජය වෙතින් අපවාද එල්ලවීමයි.
සුලේඛාගේ සිදුවීමට අදාළව ද මෙම තත්වය විග්‍රහ කළ හැකි අතර ඇගේ අඩ නිරුවත වීඩියෝ ගත කිරීම මඟින් එය ස්වයං වින්දනය සඳහා භාවිත කිරීමටත් වෙනත් පුද්ගලයින්ට එය නැරඹීම සඳහා අන්තර්ජාලයට යොමු කිරීමටත් එම වීඩියෝගත කිරීම සිදුකළ පුද්ගලයාගේ අභිලාශය වන්නට ඇත. එම මානසිකත්වය ද මානසික විකෘති තත්වයක් ලෙස විග්‍රහ කළ හැකිවේ. එසේම බහුල වශයෙන් සරසවි ආශ්‍රිතව වාර්තා වන සිසුවියන්ගේ නේවාසිකාගාරවලට පිටස්තර පුද්ගලයින් ඇතුළු වීමත් විපරිත ලිංගික සංස්කෘතිය තුළින් වර්ධනය වූ මානසික විකෘතිතාවක් ලෙස හඳුන්වා දීම වැරදි නොවේ.
මේ අනුව මෙම සිදුවීම් සමස්තයක් වශයෙන් ගෙන සලකන කල පැවසිය යුතු කරුණ වන්නේ අප රට  තුළ ලිංගික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයි. එය පාසල් විෂය මාලා තුළින් ද විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපනික ආයතන මඟින් සහ සිවිල් සමාජ සංවිධානවල මැදිහත් වීමෙන් ක්‍රියාත්මක කළ යුතු කාලීන අවශ්‍යතාවක් බව පැහැදිලිය. එහෙත් තවමත් අප රටේ සිදුවන්නේ යම්කිසි සිදුවීමක් වූ පසු ඔවුන් පිළිබඳ සොයා බලා ඔවුන්ට දඬුවම් පැමිණවීම මිස ඔවුන්ව නිරිමාණය කරනු ලැබූ සමාජ සන්දර්භය පිළිබඳ අවධානය යොමු නොකිරීමය. නොඑසේනම් තවදුරටත් එවැනි සිදුවීම් වැළැක්වීමට කටයුතු කිරීම වෙනුවට පුද්ගලයින්ට දඬුවම් පැමිණ වීම වැනි තාවකාලික ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට කටයුතු කිරීම මඟින් දෛනිකව එවැනි සිදුවීම් සිදුවීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතිනවා මිස ඒවායේ පාලනය වීමක් හෝ අඩුවීමක් දක්නට නොලැබේ. එසේම සමාජය වුවත් මෙවැනි සිදුවීමක දී අදාළ ක්‍රියාවට සම්බන්ධ වූ පුද්ගලින්ට උපරිම දඬුවම් දීමට කටයුතු කරනවා මිස එවැනි සිදුවීම් දෙස ආකල්පමය වශයෙන් හෙළනු ලබන දෘෂ්ටියේ වෙනසක් සාධනීයව ඇති කර නොගනියි. තවද සරසවි සිසුවියන්ගේ නේවාසිකාගාර පිළිබඳව සතිපතා වාර්තා වන මෙවැනි සිදුවීම්වල දී වුවත් අදාළ පුද්ගලයින්ට ගම් වැසියන් පහර දීම හෝ ඔවුන් පොලිසියට භාර දීම මඟින් කිසිසේත් එම ගැටලුවට පිළිතුරක් නොලැබෙන අතර දින කිහිපයකින් නැවත එම තැනැත්තාම හෝ වෙනත් තැනැත්තෙකු හෝ යළිත් එම ක්‍රියාවේ නිරත වේ. එබැවින් අනන්‍යතාව හඳුනාගත හැකි පිරිදි ලිංගික ක්‍රියාකාරකම් සහිත අතිශය පෞද්ගලික වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැරිමක දී හෝ නිලියක් වැනි සමාජයේ ජනප්‍රිය චරිතයකට යම්කිසි අපහසුතාවකට ලක්වීමට සිදුවූ අවස්ථාවක දී පමණක් ඒ පිළිබඳව සමාජ කතිකාවන් නිර්මාණය වීමට ඉඩ දී බලා සිටීම මඟින් දිනෙන් දින මෙවැනි සිදුවීම් වැඩිවීම පමණක් සිදුවන අතර විධිමත් ලෙස ලිංගික අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මූලිකත්වය ගැනීම සියල්ලන්ගේම වගකීමක් වන බව ද අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටිමි.


සටහන - සුරෝෂන ඉරංග




Previous
Next Post »