මවක අහිමි වූ පුතෙකුගේ හුදෙකලාව!


එදා, 1993 ඉල් මහේ 1 වෙනිදා පස්වරු 4.47 මගේ අම්මා මේ ලෝකයේ ගැහැනියක විසින් විදිනා දරුණුම වේදනාව විද මා මේ ලෝකයට බිහි කළා... නැකත් වෙලාවට මට අකුරු කියෙව්වෙත් මගේ අම්මා.එදා අම්මා මට කියවපු අකුරු වලට ඉහළම ගෞරවයක් ලබා දෙන්න මට පුළුවන් වුණා.2013 විශ්වවිද්‍යාල ප්‍රවේෂය ලැබුවා කොළඹ විශ්වවිද්‍යාලයීය ජනමාධ්‍ය අංශයටම.2016 නීති ප්‍රවේශය ලැබුවා.අම්මා ඔසරිය ඇන්දාම හරිම ලස්සනයි.මම මගේ අම්මා ඔසරිය අදිනවාට ගොඩාක් කැමැත්තෙන් හිටියේ.මගේ නීති අධ්‍යාපන වැඩ කටයුතු ආරම්භ වන 20 වෙනිදාට අදින්න අම්මා ලස්සන ලා දම් පාට ඔසරියක් වැඩ දමමින් හරිම උපේක්ෂාවෙන් බලන් හිටියේ 20 වෙනිදා උදා වෙනකම් අම්මා වැඩ දමන්නේ අවසන් ගමන් යන ඔසරියට කියලා මම දැනන් හිටියානම් කීයටවත් අම්මාට මම ඔසරිය මහන්න ඉඩ දෙන්නේ නෑ.

මම තමා පවුලේ අම්මාගේ බඩ පිහදාගෙන ආපු එකා පවුලේ බඩපිස්සා.ඒ නිසාමද මන්දා මම අම්මාගේ වලිගය වගේ කියලා නෑදෑයෝ ඔක්කෝම මට විහිළු කරනවා.මම අසාධාරණයට එරෙහිව නිර්භයව හඩ නගන්න පුරුදු වුණේ මගේ අම්මාගෙන්.මමත් කියන දේ මූණට කියනවා.මාත් අම්මා වගේ, මගෙත් හිතේ එකක් බොක්කේ එකක් නෑ...එදා ස.ණ.ස. සමිතියේ ගොඩනැගෙමින් පැවති පවුල් පාලනයට විරුද්ධව මම හඩ නගපු වෙලාවේ අම්මා විතරයි මට බැන්න නැති එකම කෙනා.මගේ තාත්තා පවා මට බැන්නා කළුගල් එක්ක හැප්පෙන්න එපා කියලා.ඒත් මට කළුගල් එක්ක හැප්පෙන්න ශක්තිය මගේ අම්මා මට දීලා තියෙනවා.

අම්මා පින් දහම් කරන්න හරිම කැමැත්තක් තිබුණේ.අම්මා බඩගින්නේ ඉදගෙනත් තවත් අසරණයෙකුගේ කුස පුරවන්න හැම වෙලාවෙම උත්සාහ කරේ.අම්මා කවදාවත් කළමණාකරනය කියලා විෂයක් ඉගෙනගෙන නැතත් අම්මා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ආචාර්ය වරයෙකුටත් වඩා ප්‍රායෝගිකව කළමනාකරණය දැනගෙන හිටියා සහ එය ක්‍රියාත්මක කරලා පෙන්වුවා.මාසෙට රු.27,000/= වැටුපක් විතරයි තාත්තාට ලැබුණේ.අපේ ගෙදර බෙහෙත් වියදම් වලටම මාසෙකට රු.12,000/= විතර යනවා.ඒත් අම්මා ගෙදර වියදම් හරියට තිතට කළමණාකරනය කරලා මගේ නමින් ස.ණ.ස. ගිණුමක මසෙට රු.1,500/= ගානේ ඉතිරි කරලත් තියනවා.


පාඩු ලබලා වහලා දාන්න නියම කරලා තිබුණ මහරගම ශ්‍රීලංගම බස් ඩිපෝව එහි කළමනාකාර ධුරය භාර අරන් මගේ තාත්තාට වසර 3ක් යද්දී ශ්‍රී ලංකාවේ 2 වෙනියට වැඩිම ආදායම් උපයන බස් ඩිපෝව බවට පත් කරන්න ශක්තිය වූයේ මගේ අම්මා...තාත්තා පසුපසින් ඉදන් තාත්තාට පැවරුණ හැම රාජකාරියම මතක් කරේ මගේ අම්මා..."ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා......" ගීතයේ ඇත් සත්‍යතාවය මම දැක්කේ මගේ අම්මාගෙන් මොන අසනීපයක් තිබුණත් පෙරවරු 4 අවදිවෙලා දවසේ දින චරියාව ආරම්භ කරන අම්මා නිදා ගන්න යන්නේ රාත්‍රී 10ට අහලපහල ඉන්න පූසෝ/බල්ලෝ ඔක්කෝගෙම කුස ගිනිත් නිවා දමලයි.

මේ දවස්වල හැමෝම කියන්නේ හිත හදා ගන්න කියලයි.ජීවිතේ හැටි ඔහොමයි කියලයි ඒත් මගේ ජීවිතේ හොදම යාළුවා නැති වෙලා හොදම ආදරවන්තිය නැති වෙලා ඉද්දී කොහොමද දේවියනේ මම හිත හදා ගන්නේ!

(අතිශෝක්තියක් නොවේ,වේදනාව යම් තරමක් හෝ පිට කර ගැනීමට දැරූ උත්සාහයකි...)


-ඉෂාර ලක්මිණ

Previous
Next Post »