ඩිල්ස්කූප්ගෙන් අලුත් ප්‍රහාරයක්! (ඩිල්ශාන් සියල්ලන්ගේ රෙදි ගලවයි...)


තමා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වය දැරූ සමයේ කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් කිසිදු සහයෝගයක් නොලද බව ඊයේ (28) ජාත්‍යන්තර එක් දින ක්‍රිකට් පිටියට සමු දුන් තිලකරත්න ඩිල්ශාන් පවසයි.

රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති සිය අවසන් තරඟයෙන් අනතුරුව පැවැත්වුන මාධ්‍ය හමුවේ දීයි ඔහු එම ප්‍රකාශය කළේ.

2011 අප්‍රේල් සිට 2012 ජනවාරි දක්වා තිලකරත්න ඩිල්ශාන් ශ්‍රී ලංකා පිළේ නායකත්වය දැරූ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් ජයක් ලබා ගැනීම හැර ඔහු ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට සුවිශේෂී ජයග්‍රහණ ලබාගැනීමට නොහැකි විය.

ඊයේ දඹුල්ල මාධ්‍ය හමුවේ දී තිලකරත්න ඩිල්ශාන් කියා සිටියේ හිටි හැටියේම තමා කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබීම සම්බන්ධයෙන් ඉතා කනගාටුවට පත් වූ බවයි.

මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර නායකත්වයෙන් ඉවත් වීමෙන් පසුව තිලකරත්න ඩිල්ෂාන් නායකත්වයට පත් කෙරුණ අතර ඔහු දඹුල්ල මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් සඳහන් කළේ කණ්ඩායමේ නායකයා හැටියට තමා එදා ප්‍රශ්න රැසකට මුහුණ දුන් බවයි.

'එංගලන්තේදී මගේ අතට බෝලයක් වැදිලා තුවාල වුනාම හිටපු නායකයන්ට කිව්වා නායකත්වය දරන්න කියලා, ඔවුන් බැහැයි කිව්වා' ඔහු අතීත අත්දැකීම් සිහිපත් කරමින් පවසයි.
නවක ක්‍රීඩකයන් වෙනුවෙන්
සිය නායකත්වය යටතේ නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීම ඇතැම් අයට ගැටළුවක් වූ බව පෙන්වා දුන් තිලකරත්න ඩිල්ශාන් එසේ හඳුන්වා දුන් නවකයන් අද දක්ෂ ලෙස ක්‍රීඩා කරනු දක්නට ලැබීම ගැන තමා අද සතුටු වන බවයි කියා සිටියේ.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ පමණක් නොව ඇතැම් පුහුණුකරුවන්ගෙන් ද කණ්ඩායමේ නායකයා හැටියට තමාට අවශ්‍ය සහයෝගය නොවූ බවයි ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සමු ගන්නා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා පවසන්නේ.

'මම නායකත්වය දරපු අවුරුද්ද පුරාම ඇන්ජලෝ මැතිව්ස්ට ආබාධයක් තිබුණා. ඒ අවුරුද්ද පුරාම මැතිව්ස්ට පන්දු යවන්න බැරි වුණා. ඒක මගේ අවාසනාව වෙන්න ඇති. මොකද මම නායකත්වයෙන් ඉවත් වෙලා සතියකට පස්සේ අපි ඔස්ට්‍රේලියාවට ගියා. ඒ සතියේ දී ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවන්න පටන් ගත්තා. ඒක මහේලගේ වාසනාව වෙන්න ඇති' තිලකරත්න සිය අතීත අත්දැකීම් පෙරට තබන ලද්දේ එපරිද්දෙනි.

තමන්ට තව වසරක් හෝ දෙකක් පහසුවෙන් ක්‍රීඩා කල හැකි වුවත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළේ 2019 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ආරම්භක පිතිකරුවකු සොයා ගැනීමට කණ්ඩායමට කාලය ලබා දීමට බවත් තිලකරත්න ඩිල්ශාන් පවසයි.

ඉදිරි සතියේ පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙක ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ඔහු සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට නියමිතයි.

බී.බී.සී. සිංහල සංදේශයෙන් උපුටා නැවත පළ කිරීමකි.



Previous
Next Post »