මාගරීටා මාගරීටා පාට පාටයි හීන ගොඩ - මාස්ටර් ඇවිත් ඉල්ලයි ආදරේ තිබූ ඉඩ!


කුඩා කල අසා තිබූ ආකාරයට ‘සන්නාසියන්’ යනු දිගු රැවුලක් හා කොණ්ඩයක් ඇති - අතිශය නපුරු - කුඩා ළමුන් රහසේම රැගෙන යන්නන් ය. එහෙත් ‘සන්නාසි වෙසින් දෙවියන්ට එහා ගිය සොඳුරු මිනිසුන්ද’ මිහිපිටට එන වග මට පසක් කළේ ‘පසන්’ය.

මේ ආදරණීය සාහිත්‍යකාමී සන්නාසි මිනිසා සොරකම් කළා නං කරන තරමක් සොරකම් කළේ ‘සහෝදර හදවත්’ය. ඒ නිසාවෙන් අදටත් එසේ ඔහු සොරකම් කර රැගෙන ගිය අපේ හදවත් මත ඇත්තේ ‘හිස්තැන්’ය.

පසන් යනු සරලත්වයේ සංකේතයයි ; ප්‍රසන්න මනුෂ්‍යත්වයේ කාව්‍යාත්මයයි; බුද්ධිමත් නිහතමානීත්වයේ අව්‍යාජ ප්‍රකාශනයයි ; රෝමාන්තික මනමාලියන්ගේ අතිශය තුරුණු මනමාලයායි.

පසන් මට මුල්වරට හමුවන්නේ මා පාසල් ශිෂ්‍යයෙක්ව සිටි සමයේදීයි. ඔහුට ‘සර්’ ලෙස පවසමින් ඇරඹුම ලත් ඒ අනන්ත මිත්‍ර ගනුදෙනුව ‘මල්ලි , යකෝ, මචං’මය වීමට වැඩි කාලයක් ගතවූයේ නැත.

මා නිරතුරුව ඔහුගේ මිත්‍ර සමාගමට පෙම් බැන්දේ ‘නිදහසේ ස්වර්ග රාජ්‍යය’ ඔහු යන යන හැම තැනකම නිරායාසයෙන් ඉදිවීම නිසාය. අප යන යන තැන යදම් වලින් අප බැඳ දැමීමට මඟ බලා සිටියත් , පසන් අප එනතුරුම මඟ බැලුවේ යදම් සියල්ලෙන්ම අප මුදා ගැනීමටය ! මං පසන්ට බොක්ක දෙන්නේ එනිසා ය.

සෝවියට් රුසියාව සිහිවන සැණින් හල් ‘න’යන්නට ඇත්තේ මාර ප්‍රමුඛතාවකි. එනම් මට නං ‘න්’යනු රුසියාව ය. රුසියාවේ ලෙනින් - පුෂ්කින් - ස්ටාලින් - ලියෝන් - දුයිෂෙන් මතු නොව ලාංකේය රුසියානු කැඩපත යනු ‘පසන්’ ය. ‘න්’ යන්න මාර වන්නේ එනිසා ය.

අදටත් ‘හොරණ’ ඇසෙන සැණින් මට සිහිවන්නේ ‘පසන්’ය. ‘පිළියන්දල පහුවෙනකොට අපේ මුණගැහීමත් පහුවෙනව වගේ දැනෙනව මචං’ පසන් දවසක් අත අල්ලන් පිළියන්දලදී මිමිනූ හැටි මේ දැනුත් මගෙ ඇස් ඉදිරියේ මැවේ. අප සැමට ‘අපටම අනන්‍ය වූ’ සුපසන් මතක පසන් ගැන ඇත.

අදටත් ‘කෝපි’ බොන බොහෝ වෙලාවටත් - පූස් පැටවුන් සමඟ හුරතල් පාන විටත් පසන්මය සුළඟක් පැමිණ හද කොනිත්තන්නේ එනිසා ය. මට කිසි විටෙක ඉන් මිදීමක් නැත්තේය. ‘ආදරය’ කියන්නේ ඒක විය යුතුය.

ටයිම් ටේබල් නැතිව අහම්බෙන් හමුවූ විටෙක මධු විතත් - පසන් සතු හචා මල්ලෙන් ගත් පොතක්ද ගෙන මහා කතා ලෝකයක පැය කිහිපයක් සැරිසැරීම ම අනන්ත සිහිනයකි.

මගේ පළමු කවි පොත ‘කවි ඇසිඩ්’ එළිදක්වන දිනයේදී හවස් වරුවේ හදිසියේම ‘පසන්මය මිතුරා’ ඊට ගොඩවැදුණි. මා දුටු සැණින් ඔහුව වැළඳගත් අතර ඔහු දඩබ්බර සුපුරුදු සිනහවෙන් යමක් මිමිණීය.

‘මං ආවෙ පොතට නෙමෙයි, උඹව බලන්න’

මම ගල් ගැසී පසන්ගේ අත අල්ලාගෙනම සිටියෙමි.

‘යකෝ ලියන්න පුළුවන්! ඉස්සෙල්ලා ප්‍රවේසම තියාගන්.’

ඔහු එසේ පවසා පොතක්ද ගෙන ඉතාම ඉක්මනින් නිසොල්මන් ගමනින් පිටවිය. ඒ යෝධ මිනිස්කම් ඉදිරියේ කුහුඹුවෙකුටත් වඩා කුඩා මම තවමත් ගල් වී - ගොළු වී සිටිමි.

ඉන්පසුව මට පසන් මුණගැසුණේ නැත. ඔහු ඉතාම ඉක්මනින් මාගරීටා සහ මාස්ටර් සොයා යන්නටම ගියේය.

එහෙත් ඊයේ රැයෙහි තනිකම මකන්නට මෙන් පසන් සුපුරුදු සිනා දැල්වීය. අත අල්ලා පණ්ඩිතකම් ආදරයෙන් දෙඩවීය.

මේ ගීතය මා ලීවේ අප මිත්‍ර ‘පසන්’ වෙනුවෙනි. එය එළිදකින දිනය (හෙට) සැප්තැම්බර් 9 වෙනිදා ය. මීට සමගාමීව කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ‘අරුන්දතී’ ශාලාව ඉදිරිපිට පරිශ්‍රයේ ‘පසන් සුපසන් මිතුර ඇවිදින්’ කතිකාවත 9 වෙනිදා සවස 6.30ට ඇරඹෙන්නේ ය. ‘Everything else සහ පියවි’ යන කෙටි චිත්‍රපට ද්විත්වයද රසාලිප්ත හැඟීම් දල්වනු නොඅනුමාන ය.

‘කේ කේ සමන් කුමාර - ආචාර්ය ටියුඩර් වීරසිංහ - ප්‍රභාත් චාමින්ද - නදීක ගුරුගේ’ යන මහතුන් එදින ‘පසන්මය මතක’ අවදි කිරීමට සූදානමින් සිටී. මේ කතාබහට ලුණු ඇඹුල් දැමීමට ‘ඔබ’ පැමිණිය යුත්තේ ‘පසන් රස’ අප හොඳින්ම දන්නා නිසා ය.

පසන්! මචං...මේ සියල්ල මචංමය ප්‍රේමය අනාගතයට නිදන්ගත කිරීම වෙනුවෙනි !

දසන් සැරසූ සිනා ඇසකින්
දසුන් පුරවයි අසුරු සැණෙකින්
හසුන් නාවත් සිටින තැනකින්
පසන් සුපසන් මිතුර ඇවිදින්

අහසේ හිඳී ඔබ තරු නොවී
අහසේ හිඳී ඔබ සඳ නොවී
අහසේ හිඳී ඔබ හිරු නොවී
අහසේ හිඳී ඔබ අහස වී...

වරු ගණන් කතා ගොතා දෙන්නම
මරු නොවෙද ගෙවුණු හැම හවසම
තරු ඇවිත් යන්න යන නාඩගම
සරු කෙරූ - සැරිසැරූ හාදකම

මාගරීටා මාගරීටා පාට පාටයි හීන ගොඩ
මාස්ටර් ඇවිත් ඉල්ලයි ආදරේ තිබූ ඉඩ...


දසන් සැරසූ සිනා ඇසකින්
දසුන් පුරවයි අසුරු සැණෙකින්
හසුන් නාවත් සිටින තැනකින්
පසන් සුපසන් මිතුර ඇවිදින්...





| කසුන් මහේන්ද්‍ර හීනටිගල

















Previous
Next Post »