දහසක් නින්දා මැද ‘මළ පසු සමාව’ සහ සුළුතර ලිංගික ප්‍රජාව.


ඔබ ‘ඇලන් ටියුරින් නීතිය’ ගැන අසා තිබෙනවාද? ඇලන් ටියුරින් නමැති විශේෂ පුද්ගලයා මූලික කොටගෙනම, එංගලන්තයේ සහ වේල්සයේ ඔහු නිසාම නිර්මාණය වූ නීතියකි. එයට අනුව එංගලන්තය සහ වේල්සය තුළ ජීවත් වූ සමලිංගික (සමරිසි) සහ ද්වීලිංගික (ද්වීරිසි) මිනිසුන් සහ ගැහැනුන් ට සමාව දෙනු ලැබේ. 

ඇලන් ටියුරින් දෙවන ලෝක යුද්ධයේදී විශාල වැඩකොටසක් ඉටු කළ අයෙකි. ඔහු පරිගණක විද්‍යාඥයෙකි. තවද ගණිතඥයෙකි. සෛද්ධාන්තික පරිගණක විද්‍යාව දියුණු කරලීම සඳහා වැගදත් වැඩකොටසක් ඉටු කළ තරුණයෙක් වශයෙන් ද ඔහු සැලකෙයි. එසේම ඔහු සෛද්ධාන්තික ජීව විද්‍යාඥයෙක් ද වේ. කෙටියෙන් කියන්නේ නම් සෛද්ධාන්තික පරිගණක විද්‍යාවේ සහ කෘතිම බුද්ධියේ පියා වශයෙන් සලකෙන්නේ ද ඔහු ය. 1936 වසරේදී ඔහු කේම්බි්‍රජ් සරසවියෙන් ස්මිත් ත්‍යාගය ද සිය පර්යේෂණ කටයුතු වෙනුවෙන් හිමිකර ගත්තේය. 

දෙවන ලෝක යුද්ධ සමයේදී ඔහු කටයුතු කළේ ‘කෝඞ් බ්‍රේකර්’ (Code Breaker) කෙනෙක් ලෙස ය. එනම් ඔහු රහස් කේත බිඳ දමන්නෙකි. එනම් ඔහු දෙවන ලෝක යුද්ධයේදී රහස් කේතවල අන්තර්ගත වූ සතුරාගේ රහස් හෙළිකරමින් බුද්ධිමය වශයෙන් විශාල වැඩකොටසක් සිදුකළ අයෙකි. ජර්මානු නාසි නාවික හමුදාවේ රහස් කේත බිඳ දමා ඒවා කියවීමේ මධ්‍යස්ථානය භාර ව සිටියේ ඔහු ය. ඒ ඔස්සේ අත්ලාන්තික් සටන ජයගැනීමට ඔහු ලබාදුන් දායකත්වය හේතුවෙන් නාසි සතුරා මැඬීමේ යුරෝපීය සටන වසර දෙකකට සීමා වී අඩුම ගණනේ මිලියන 14 ක් රැකුණු බව අවිවාදිත ය. 

කෙසේ නමුත් සිය ජීවිතයේ තීරණාත්මකම සහ වේදනාකාරීම නිමේෂය උදාවන විට යුද්ධය අවසන් වී තිබිණි. ඔහු බරපතළ විද්වතෙකු වශයෙන් පර්යේෂණ පත්‍රිකා ආදිය ලිවීමට ද යොමු වී සිටියේය. ඒ 1952 වසරයි. ඔහු සමලිංගික ක්‍රියා සඳහා චෝදනා ලැබුවේය. කියැවුණේ ඔහු ‘බරපතළ ගණයේ අශිෂ්ට ක්‍රියාවන්’ හි යෙදුණු බවයි. එවකට එය එරට අපරාධ වරදකි. නමුත් සිරගතවීම වෙනුවට ‘ඩෙස්’ යනුවෙන් හැඳින්වෙන ‘රසායනික වන්ධ්‍යාකරණය’ ඔහු තෝරාගත්තේය. එයට ‘තෝරාගැනීමක්’ යැයි කියන්නේ එය සිරගතවීමට වඩා නම්බුකාර වූ නිසාය. නොඑසේනම් කෙනෙකුට රසායනික වන්ධ්‍යාකරණයට ලක්වන ලෙසට බලකිරීමට තෝරාගැනීමක් යැයි කිව හැකිද..?

අවසානයේ 2013 වසරේ ඇලන් ටියුරින් ට සමාව ලැබිණි. ඒ, එරට අපරාධ නීතිය සංශෝධන කළ බැවිනි. සංශෝධිත නීතියට කීවේ ‘ඇලන් ටියුරින් නීතිය’ කියා ය. ඒ නීතිය යටතේ සමලිංගික සහ විෂම ලිංගික හැසිරීම්වලට වරදකරුවන් ව මියගිය අයට මරණින් පසු බලපැවැත්වෙන සේ සමාව දෙනු ලැබේ..! මේ සඳහා වරදකරුවන් වූ යමෙක් දැනට ජීවතුන් අතර සිටී නම් ඔවුන්ට ද සමාව සඳහා ඉල්ලුම් කළ හැකිය. ඔබ සිතන්නේ එංගලන්තය තුළ කොපමණ සංඛ්‍යාවක් මේ වන විට මේ නීතිය යටතේ වරදකරුවන් බවට පත්වී සිටියා කියා ද? ඒ ගණන සුළුපටු නැත. පුරුෂයන් 65,000 ක් මේ අනුව වරදකරුවන් කර විවිධ දඬුවම්වලට යටත් කර තිබිණි. එයින් අද වන විට ජීවතුන් අතර සිටින්නේ 15,000 ක් පමණි. ඒ අනුව මේ නීතිය යටතේ වරදකරුවන් බවට පත් කළ, ජීවතුන් අතර ඉතිරි වී සිටින අය පවා වයස අවුරුදු හැත්තෑව ඉක්මවා තිබේ. 

මේ සමාජය තුළ ශිෂ්ටත්වයේ නීති සාදන්නේ කවුද? බහුතර මතය සුවිශේෂී ජන ප්‍රජාවන්ගේ මතයට වඩා වෙනස් වූ පමණින් - සැසඳෙන්නේ නැතිවූ විට ඒ සඳහා සුළුතරය පළිද...? එසේ වූ පමණින් ඒ සුළුතරයේ අයිතිවාසිකම් කඩ කළ හැකිද? බහුතරය හෝමෝෆෝබියාවෙන් පෙළෙන විට වන්දි ගෙවිය යුත්තේ වෙනත් කෙනෙක්ද? ඇයි, සුළුතරය මනුෂ්‍යයන් නොවේද? 

මේ ලංකාව තුළ සය පෙති මලේ කතාව-ෆ්‍රැන්ජිපානි තිරගත වෙමින් තිබෙන කාලයයි. සමරිසි, විෂමරිසි, ද්වීරිසි සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අන්කවරදාටත් වඩා රට තුළ හඬ නැගෙන කාලයයි. එංගලන්තය ඇලන් ටියුරින් නීතිය හරහා හෝ සිය නෛතික ස්ථාවරය වෙනස් කරගෙන ප්‍රගතිගාමී දැක්මක් වෙත ගමන් කර තිබේ. නමුත් අපි...? අපි තවමත් සිටින්නේ එදා සුද්දා දහනව වැනි සියවසේදී ලංකාවේ අතහැර ගිය යල්පැනගිය ගොන්පාට් නීති සමූහයක් සමග ය. ඒ නීතිවල මුද්ධකම කෙතෙක්ද යත් ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365(අ) වගන්තිය අනුව මෙය සාපරාධී වරදක් වන්නේ පහත ආකාරයට ය. 

දණ්ඩ නීති සංග්‍රහය ලංකාවට හඳුන්වා දෙන්නේ අනාදිමත් කාලයක ය. එනම් 1883 වසරේදී බි්‍රතාන්‍යයන් ය. පිරිමි දෙදෙනෙකු අතර, ගැහැනුන් දෙදෙනෙකු අතර පමණක් නොව පිරිමි-ගැහැනු අය අතර පවා ‘බලවත් අශිෂ්ට ක්‍රියාවන්’ සිදුවීම මේ අනුව වරදකි. පිරිමි-පිරිමි සහ ගැහැනු-ගැහැනු අය අතර සිදුවන බරපතළ අශිෂ්ට ක්‍රියා මදකට අමතක කරමු. ගැහැනු-පිරිමි අතර සිදුවන බරපතළ අශිෂ්ට ක්‍රියා නිර්වචනය වන්නේ කෙසේද? සමාජ සම්මත ගැහැනු-පිරිමි විවාහක යුවළක් අතර පවා මේ නීතිය යටතේ ‘බරපතළ ගණයේ අශිෂ්ට ක්‍රියාවන්’ සිදුවීම තහනම් ය...!! වැදගත්ම කරුණ, එවන් අශිෂ්ට ක්‍රියා සිදුවන්නේදැයි සෙවීමට හෝ සිදුවන බව තහවුරු කර ගැනීමට ගැහැනු-පිරිමින්ගේ නිදන කාමරවලට එබීගෙන සිටින්නට ආණ්ඩුවට හෝ පොලිසියට පුළුවන්ද...? මේ නීති සෑදූ එංගලන්තයම, 1967 ලිංගික වරද පනත මගින් වයස අවුරුදු 21 ට අඩු පුරුෂයන් අතර පුද්ගලික සමලිංගික ක්‍රියාවන් සාපරාධී වරදක් නොවන තත්වයට පත්කළේය. ස්කොට්ලන්තය 1980 දී එහි සාපරාධී බව ඉවත් කළේය. උතුරු අයර්ලන්තය 1982 දී ඒ මග ගත්තේය. නමුත් මේ නීති හැදූ රටවල්ම මෙසේ එයින් මිදෙන විට ඊනියා සදාචාරයක් සහ සංස්කෘතියක් ගැන දූපත් මානසිකත්වයෙන් දොඩවමින් අදත් අප සිටින්නේ එහිම එල්බගෙන ය. 

අපේ අසල්වැසි ඉන්දියාව පවා මේ නීතිය පරිණාමය කර ගත්තේ ය. ඒ, 2009 වසරේ දිල්ලි මහාධිකරණය විසින් සමරිසි බව හෙවත් සමලිංගිකත්වයේ සාපරාධී බව ඉවත් කිරීම මගිනි. “නෑස් ෆවුන්ඬේෂන් නඩුව” (Naz Foundation vs. Union of India) යනුවෙන් ප්‍රකට වූ මෙම නඩුවේදී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රයේ 365 (අ) වගන්තියට සමකාර්ය වන ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය බලරහිත බව ප්‍රකාශ වූ අතර නව පනතක් සාදන තෙක් මෙම නඩු තීන්දුව බලාත්මක බව සඳහන් කර ඇත. 

පිස්සන්ට අනෙක් අය පෙනෙන්නේ පිස්සන් ලෙස ය. මේ අන්දමින්ම සදාචාරය, සභ්‍යත්වය, ආගමිකභාවය යන සම්ප්‍රදායිකත්වය යන රෝගවලින් බරපතළ ලෙස ආතුර වූ ඇතැම් පුද්ගලයන්ට සුළුතර ලිංගික ප්‍රජාව පෙනෙන්නේ ලෙඩුන් ලෙස ය. නමුත් මේ සොබාදහම තුළ ගැහැනු සහ පිරිමි යන ලිංගිකත්වයන් දෙකට අමතරව තුන්වැනි සමාජභාවයක් ද පවතින බවත් එය කිසිසේත්ම මානිසක රෝගී තත්වයක් නොවන බවත් ඇමරිකානු මනෝවිද්‍යාඥයන්ගේ සංගමය විසින් බරපතළ හැදෑරීමකින් පසු තීරණය කරන්නේ 1980 දශකයේ අගභාගයේදී ය. එයට සාපේක්ෂව අප සිටින්නේ කොතැනද? ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුළ එතෙක් කල් වරදක් ලෙසට පමණක් සැලකුණු සමලිංගික ක්‍රියා 90 දශකයේදී සාපරාධී වරදක් බවට සංශෝධනය කෙරිණි.

අපේ කථානායකයා වන, මිනිස් ජීවිත මිලියන ගණනක් බේරාගත්, දුර්ලභ ගණයේ බුද්ධිමතෙක් වූ, එනමුත් තවත් පුරුෂයෙකුට මිස ගැහැනියකට ආදරය කරන්නට සොබාදහම විසින් නොමැවූ ඒ විරල මිනිසා අවසානයේ මියගියේ කෙසේද? සමාජයෙන් එල්ල වූ මානසික හිංසනය ඉවසාගත නොහැකිව 1954 වසරේ දී සයනයිඞ් කෑමෙනි. ඒ වන විට ඔහු යන්තමින් අවුරුදු 41 පසුකළා පමණි. මෙවැනි ඇලන් ටියුරින්ලා අත්විඳි මානසික වධවේදනා සහ කොන්කිරීම ඔවුන්ට ලැබෙන මේ ‘මළපසු සමාවෙන්’ සුවපත්කරන්නට හැකිද? ඔවුන්ගේ ආත්ම මේ සක්වළේ කොහේ හෝ සිට උපහාසයෙන් යුතුව අපෙන් මෙසේ අසනවා විය යුතුය. “පව්කාරයිනි..., තොපිට දැන්වත් තේරුණාද...?”

ඇලන් ටියුරින්ගේ කතාව මෙතැනින් බලන්න.


ශ්‍රී ලංකාවේ සුළුතර ලිංගික ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳ නීතිමය තත්වය මෙතැනින් බලන්න.



- ක්‍රිෂාන්ති රාජපක්ෂ

Previous
Next Post »