"ලොකු ඉස්කෝලවල උදවිය පාරවල් බ්ලොක් කර පෙරඩ් යද්දී , උතුරු මැදින් කැරැල්ලක්..."


ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රධාන / ප්‍රමුඛ ජාතික පාසල් මෙන්ම ජනප්‍රිය පාසල් ගනණාවක පෙරඩ් සංස්කෘතියක් විවෘත ආර්ථික ක්‍රමයේ එක් පිළිලයක් ලෙස බිහි වී ඇත.මේ සටහන තබන මා අධ්‍යාපනය ලද පාසල් ද්වයයේමත් බිග් මැච් පෙරඩ් රෝගය වැළඳී තිබුණු අයුරු මා හට හොඳින් දැක ගැනීමට තිබුණි.බිග් මැච් පෙරඩ් සංස්කෘතියට විරුද්ධව කතා කිරීම නිසා බිග් මැච් පෙරඩ් රෝගයෙන් පාසල පෙළෙන කාලයේදී කොන් වී හුදෙකලා වීමේ අත්දැකීම් ද නොවුණාම නොවේ.


පාසල් ශිෂ්‍යයෙකු ලෙස මා විසින් එකල විශ්වාස කළ ප්‍රතිපත්තිමය ධර්මතාවය නිදහස් මාධ්‍යවේදියෙකු ලෙසින් ක්‍රියාකරන මේ කාලය තුළ උතුරු මැද පළාතෙන් සැබෑවක් බවට පත්ව තිබෙනු දුටු මම 'රවිදු දිල්ෂාන් ඉලංගකෝන්' සිසුවාගේ මුහුණු පොත් පිටුව දැක සතුටු කඳුලක් හෙලුවෙමි.

එහි වූයේ, " ලොකු ලොකු ඉස්කෝලවල අය පෙරඩ් ගිහින් තාවකාලික විනෝදයක් ලබලා දවසට කීයක් බොරුවට වියදම් කරනවාද? ඒත් ඒ සල්ලිවලින් , ඈත ගම්වල දුප්පත් නංගිලා , මල්ලිලා ඉන්න ඉස්කෝලවලට පරිගණක විද්‍යාගාර හදලා දීලා තොරතුරු තාක්ෂණයෙන් අනාගතය ජය ගන්න උදව්වක් කරන්න පුළුවන්නම් කොච්චරනම් වටිනවාද?..."

මෙම සටහන දුටු මම මගේ වෘත්තීමය වගකීම වෙනුවෙන් රවිදු දිල්ෂාන් ඉලංගකෝන් යනු කවුදැයි සොයා ගිය ගමනේදී මට ඔහු ගැන සහ ඔහුගේ වැඩසටහන ගැන බොහෝ කරුණු දැන ගත හැකි විය.

2014 වර්ශයේදී 'විබ්ලි වෙබ් ඩිසයින්' තරඟාවලියේදී ලෝකයේ රටවල් 190ක් අතුරෙන් 09 වන ස්ථානය ලබා ගත් රවිදු දිල්ෂාන් ඉලංගකෝන් තම මවුබිම වෙනුවෙන් සේවා සපයන වෙබ් අඩවි 1,000ක් නිර්මාණය කිරීමේ අවස්ථාව ලබා ගෙන උතුරු මැද පළාතේ දුෂ්කර පාසල් සිසු දරුවන් වෙනුවෙන් තම සේවය සපයන්නට ඉදිරිපත් විය.

දක්ශයන්ට නැඟී සිටීමට ඉඩක් නොදී තළා පෙළා පීඩාවට පත් කිරීම මජර සම්ප්‍රදාය වී ඇති දේශපාලනයක් පවතින ශ්‍රී ලංකාවේ ඒ තත්වය වෙනස් කරමින් දක්ශයන්ට නිවැරදි ස්ථාන ලබා දී තම උපදේශක මණ්ඩලයට පවාද ඇතුලත් කරගනිමින් " සයිබර් ලොවයි - අපේ රටයි " තොරතුරු තාක්ෂණය තුළින් දුප්පත්කම නැති කිරීමේ ව්‍යාපෘතිය නිදහසේ සිදු කරගෙන යාමට අවශ්‍ය මූලික ප්‍රතිපාදන පවා රවිදු දිල්ෂාන් ඉලංගකෝන් සිසුවා වෙත ලබා දීමට තරම් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා නිහතමානී දූරදර්ශී පුද්ගලයෙකු වීම අගය කළ යුතුය.

මෙම ව්‍යාපෘතිය තුළ වෙබ් අඩවි නිර්මාණය - රවිදු දිල්ෂාන් ඉලංගකෝන් විසින්ද, රොබෝ තාක්ෂණය - රමිත් ක්‍රිෂාන්ත විසින්ද, ඊ මනි - අසංක හේරත් විසින්ද මෙහෙයවනු ලැබේ.

මේ වන විට උතුරු මැද පළාතේ පාසල් 12ක මෙම ව්‍යාපෘතිය ආරම්භ වී ඇති අතර , මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර සැප්තැම්බර් මස 12 වන දින හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා විද්‍යාලයේදී ආරම්භ වීමට නියමිතය.මෙහිදී ප්‍රතිලාභ ලබන සිසුවියන් සංඛ්‍යාව 300කට අධිකය.

* ඔබත් ලොකු ඉස්කෝලෙක ඉගෙනගත්තත් ඔබ ඉගෙනගත්ත ඉස්කෝලේ ආදි ශිෂ්‍ය සංගම් මඟින් සිදු කරන නිෂ්ඵල / නිරර්ථක වැඩ වලට විරුද්ධව උඩුගං බලා යන පටිසෝතගාමී අභිමානවත් පුරවැසියෙකු වීමට කැමතිනම් රවිදු දිල්ෂාන් ඉලංගකෝන් විසින් උතුරු මැදින් ආරම්භ කළ කැරැල්ල ශ්‍රී ලංකාව පුරා ගෙන යාමට ඔහුට සහාය වන්න.රවිදු දිල්ෂාන් ඉලංගකෝන් ෆේස් බුක් පිටුවෙන් සම්බන්ධ වන්න...











නීති ශිෂ්‍ය / නිදහස් මාධ්‍යවේදී ඉෂාර ලක්මිණ.







Previous
Next Post »