අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ



මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආකාරයේ පර්යේෂණාත්මක රංග නිර්මාණයක් ලෙස නැවත අවකාශගත විණ. ඒ ක්ෂේත්‍ර විශේෂී රංග ආකෘතිය(Sight Specific Theatre) පදනම් කර ගනිමිනි. 'ප්‍රාසාංගික කලා අධ්‍යනාංශයේ තෙවැනි වසර නාට්‍ය කණ්ඩායමේ නිෂ්පාදනයක්' ලෙස ඔබේ වේදිකාවට පැමිණි “රත්නවල්ලි“ මීට පෙර 2006 වසරේදී ද නිෂ්පාදනය වී ඇති අතර ඒ සංගීතමය වේදිකා නිෂ්පාදනයක් ලෙස නදීක ගුරුගේ දායකත්වයෙනි. 

කලක් දැඩි ආන්දෝලනයකට තුඩු දුන් නාට්‍ය පිටපතක්ද වන “රත්නවල්ලි“ පාදක කර ගනිමින් නව මානයේ ලෝක නාට්‍ය ප්‍රවණතා හඳුන්වා දීමට සුවිශේෂී පරිශ්‍රමයක් දරා තිබූ මීට නව තාක්ෂණික ප්‍රයෝගවල සංක්‍රාන්තිය මෙන්ම සිනමාත්මකව භාවිතාවන්ද අවකාශයෝචිතව මෙන්ම අවස්ථානෝචිතව යොදා තිබුණේ එම ආකෘතියේ ස්වභාවය මනාව අපූර්වත්යකට ලක් කරමිනි. 

කෙසේ වෙතත් ඉතිහාසයේ එන දුටුගැමුණු යන චරිතය අභියෝගයට ලක් කරමින් එහි එන දුටුගැමුණු නම් මනුෂ්‍යයාගේ පර්යාවලෝකයෙන් දැකීමට මෙම නිෂ්පාදනයේදී නිෂ්පාදකයන් උත්සාහ දරා ඇති “රත්නවල්ලි“ හරහා රංග ආකෘතිය සංස්කරණය කිරීමේදී ඊට වෙනස්ම වූ සුවිශේෂි ප්‍රවේශ ගණනාවක් විවර කර දීමට තරම් එය ප්‍රශස්තව පැවැතුණේ බල අරගලය තුළ ධම්මකිත්ති හිමි,රත්නවල්ලි, හේමමාලා,විහාර මහා දේවි,සාලිය,අශෝකමාලා,එළාර,පද්ම ශ්‍රී යන චරිතවලට සිදුවන දේ කුමක්ද යන්න 21 සියවසට ‍සමපාත කොට නව කියවීමක් ප්‍රේක්ෂකයන්ට ලබාදීමටද විශේෂ උත්සාහයක් ගනිමිනි. 

එසේම සිනමාවේ එන රීතියක් වන සමෝධානය යන්න අවකාශ භාවිතයේදී හැකි උපරිමයෙන් රංගාවලෝකය සහ ආඛ්‍යානය හරහා තැනින් තැන කැටිව හුන් ප්‍රේක්ෂකයන්ට මුසු කළ “රත්නවල්ලි“, නාට්‍යකරණයේ එන ආඛ්‍යාන රංග රීතිය,දුරස්ථීකරණය ආදිය විශ්වවිද්‍යාල මට්ටමේ යෙදවුම්කාරක ලෙස භාවිතා කර තිබූ මෙහිදී සිය අරමුණ කර ගත් යල් පැන ගිය ප්‍රොසීනියම් ආකෘතිය වෙනුවට එහි සංවර්ධිත නව ප්‍රවණතා අනුගත කර තිබූ ආකාරයද සැබැවින්ම ප්‍රශංසා කළ යුතුය. 

මන්ද යාවත්කාලීන වේදිකාව සාමාන්‍ය ජනතාවගේ මානව සමාජ සංවර්ධනය සඳහා සක්‍රියව මැදිහත් වී ඇති මෙවන් ගෝලීයකරණය වූ සමාජයක, තමන් සිටිනා ස්ථානය පවා වේදිකාවක් වන්නේ කෙසේද,එම වේදිකාව සමග අප කටයුතු කරන්නේ කෙසේද, එහි ඇතුළත් නාට්‍යමය ලක්ෂණ සමාජගත කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් කතිකාවතක්ද අනවරත ක්‍රියාකාරි ප්‍රේක්ෂක සුළඟක අත්‍යවශ්‍යතාවයක්ද දැන් දැන් තදින්ම දැනෙනා බැවිනි. 

ලෝක මට්ටමෙන් ගත් කල දෙකොටසකට විභේදනය වන මෙම ක්ෂේත්‍ර විශේෂී රංග ආකෘතියේ එක් උප කොටසක් වූ පවතින පිටපත ඒ ඒ අවකාශයන් තුළ රංග වින්‍යාසයන් බවට පත් කරන වින්‍යාසයෙන් අවකාශගත කළ “රත්නවල්ලි“ සඳහා පදනම් කරගෙන ඇත්තේද රත්නවල්ලි ජීවත් වන ප්‍රදේශය හෙවත් නැගෙනහිර පළාතෙන් බදු අය කිරීම පිළිබඳ ගැටලුවක් හේතුවෙන් ගොඩනැගෙන බල අරගලය රැගත් ජනප්‍රිය කතා පුවතකි. 

යථාර්ථය සහ කල්පිතය අතර දෝලනය වුවද මනුෂ්‍යත්වයේ පීල්ල ඔස්සේ ඉදිරියට හසුරුවා තිබූ මෙහි සන්දර්භය හරහා කුල භේදය,පවතින සමාජ ක්‍රමයේ අර්බුදය මෙන්ම ජීවත් කරවන බෞද්ධ දර්ශනය සහ සැබෑ බෞද්ධ දර්ශනයද ඉතා අපූරුවට ගොනු කර තිබුණේ ඉතිහාසය,බෞද්ධ දර්ශනය,මනුෂ්‍යත්වය පිළිබඳ නැවත කියැවීමක් ප්‍රේක්ෂකයාටම කළ හැකි අයුරින් සකස් කරමිනි.

එනම් මෙහි එන ඒ ඒ චරිතයන්ට අනන්‍ය ලෙසින් එම චරිතයන්ගේ චරිතායනය හරහා එකිනෙකට වෙනස් වූ හරස්කඩ නිරීක්ෂණය කිරීමට හැකි පමණින් ප්‍රවේශද සකසා තිබූ නමුත් ප්‍රබලතම කේන්ද්‍රගත චරිතයක් වන ධම්මකිත්ති හිමියන්ට කෙතරම් දුරට ප්‍රමුඛතාවය දී ඇත්ද යන්නද,එම චරිතයේ චරිතායනය කෙතරම් දුරට මෙම නිෂ්පාදනය තුළ ප්‍රේක්ෂකයාට සමීප වූවාද යන්නද,පර්යේෂක කණ්ඩායමේ හරස්කඩින් එය විමසා බැලීමේදී ඒ හරහා කියවාගත හැකි වපසරිය කොතරම් සීමාසහිතද යන්න නැවතත් විමසිය යුත්තේ තව තවත් එහි පැතිකඩයන් සොයා යා යුතු බැවිනි. 

එහෙත් මෙහි එන සියලු චරිත විසි එක් වැනි සියවසේ සමාජයට අභව්‍ය බව කීම තාර්කික නොවන්නේ වෙනස්ව ඇත්තේ මෙම චරිතවල උඩුතලයක් පමණක් බැවිනි. එනම් ජාතිකත්වය යන සංකල්පය වෙනුවට මනුෂ්‍යත්වය කරා හසුරුවා ඇති “රත්නවල්ලි“ නාට්‍ය කෘතිය තුළදී ආගම පවා භාවිතා කිරීමට තරම් පාලන තන්ත්‍රය කොතරම් දුරට බංකොලොත්ද යන්න වග දැඩිව ප්‍රක්ෂේපනය කිරීමට වෑයම් කර ඇති අතර ගෝලීයකරණ වූ සමාජයක වත්මන් ශ්‍රී ලාංකික ජීවිත පවා සැබෑ කාරණය පසෙක තිබියදී අදටත් ජාතිය,ආගම ආදිය හරහා බලය තහවුරු කර ගැනීමට දරන උත්සාහය හාස්‍යයෙන් ගෙන හැර පෑවේ ශෝකාන්තයක හැඩහුරුකම කියාපාමිනි.පූර්ව ප්‍රචාරණ අවධියේදීම මෙම නාට්‍ය ආකෘතියට යටත් “ඔබේ ඉරණමේ කර්තෘ ඔබමයි“ යන තේමාව යොදා ඇත්තේද එබැවිනුයි. 

“රත්නවල්ලි“ සඳහා භාවිතා කළ සංගීතයද පර්යේෂණාත්මක මුහුණුවරක් ගත් අතර එහි භාවිතා කළ ක්‍රියාකාරි සංගීතමය යෙදවුම් ඓතිහාසික මුහුණුවරක සිට ක්‍රම ක්‍රමයෙන් අවස්ථානෝචිතව 21 වැනි සියවස දක්වා සූක්ෂමව ගෙන ඒමට විශ්වවිද්‍යාල සංගීත නිර්මාපකයන් උත්සාහ කර තිබුණේ ඊට යම් බටහිර භාවිතාවන්ද මුසු කරමිනි.එහෙත් ඔවුන් මුහුණ දුන් බරපතලම අර්බුදය වූයේ අවකාශය මාරු වන විටදී ඊට අනුකූලව සංගීත සංරචනාවේ සංවේදීතාවය රැක ගනිමින් සමබරව කෙසේ ප්‍රේක්ෂකයාට සන්දර්භය සන්නිවේදනය කරන්නේද යන්නයි. 

ඒ අනුව පර්යේෂණාත්මක උත්සාහයක් ලෙස ඉතා සාර්ථක විශ්වවිද්‍යාල නිෂ්පාදනයක් ලෙස කිව හැකි “රත්නවල්ලි“ නාට්‍ය නිෂ්පාදනය වෙනුවෙන් රංගනය සඳහා රුවන්ත ලක්ෂාන්,ජනිතා මධුෂානි,සකුන්තලා ප්‍රියදර්ශනී, සුරේෂ් මධුවන්ත,නිමේෂා හෙට්ටිආරච්චි,නිෂානි නිල්මිණි,මධුෂි චන්දිමා, ලක්මිණි ලක්ෂිකා,නිලක්ෂි උත්තරා,චතුර කාංචන, දේවින්ද අබේධීර,සඳුනි කරුණාරත්න,කුලනි දිලංකා,තිළිණි මහේෂිකා,චානිකා ලක්ෂානි,ගීමා සත්සරණි,මල්ෂා චමෝදි සහ දීපාල් සඳරුවන් දායක වූ අතර සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේ ලසන්ත තාරකය. 

කෙසේ නමුත් නිෂ්පාදනය නැරඹීමට පැමිණි අය අතර ආරාධිතයන් ලෙස පැමිණි ආචාර්ය සෞම්‍ය ලියනගේ කෙටි දෙසුම මෙන්ම මෙහි මුල් පිටපත් රචක ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ගේ කෙටි දෙසුම කැපී පෙනේ.











*  ඡායාරූප උපුටා ගැනීම - කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ 'ඊ පුවත්පතෙනි.'




සටහන - මාලන් විදානපතිරණ .








Newest
Previous
Next Post »